ඇෆ්ගන් රොබෝ දැරියන් කටාරයට



කාබුල් අගනුවර තලේබාන්වරුන් අතට පත් වෙද්දී, 'ඇෆ්ගන් රොබෝ දැරියන්' යන නමින් ජාත්‍යන්තරයේ අවදානය දිනාගත් රොබෝ ඉන්ජිනේරු විද්‍යාව හදාරන අවුරුදු 16 ත් 18 ත් වයසේ පසුවන ඇෆ්ගන් දැරියන් 10 දෙනා, කඩිනමින් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගනිමින් කටාර් රාජ්‍යයට රැගෙන යෑමට ඇමෙරිකන් කාන්තාවක් මැදිහත් වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, මෙම 'වික්‍රමය' කර ඇත්තේ ඔක්ලහෝමා ජනපදයේ පදිංචි මවක වන ඇලිසන් රීනෝව්ය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිනියක ද වන ඇලිසන් රීනෝව්, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂ නියෝජිතවරියක ලෙස රාජකාරි කරන තැනැත්තියකි. ඇමෙරිකාවේ ප්‍රකට දේශකවරියක ලෙසත් සමාජ ක්‍රියාකාරිනියක ලෙසත් ඇලිසන් රීනෝව් ප්‍රකට තැනැත්තියකි.

මීට වසර 20 කට පෙර, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර තලේබාන් පාලනය පෙරළා දැමූ අවස්ථාවේදී, තලේබාන්වරුන්ගේ දලදඩු ෂරියා නීතිය අහෝසි විය. ඒ ඒ අනුව ඇෆ්ගන් වැසියන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාවක් උදා විය. ඇමෙරිකා සහ බටහිර රටවල රාජ්‍ය නොවන සංවිධාන රැසක් සහ ආයතන රැසක් මැදිහත් වී, ඇෆ්ගනිස්තානයේ බාලිකා අධ්‍යාපනය නගා සිටුවීමටත් කාන්තා අයිතීන් සුරැකීමටත් පියවර ගැනුණි.

ඇෆ්ගන් බාලිකාවන්ට රොබෝ ඉන්ජිනේරු තාක්ෂණය ඉගැන්විණි. රොබෝ ඉන්ජිනේරු තාක්ෂණයෙටන් විස්තම් පෙන්වමින්, 'ඇෆ්ගන් රොබෝ දැරියන්' කණ්ඩායමක් බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. දැරියන් 10 දෙනකුගෙන් යුත් මෙම කණ්ඩායම 'ඇෆ්ගන් ඩ්‍රීමර්ස්' යන නමින් හැඳින්වෙන අතර, ඇමෙරිකාවේ 'ඩිජිටල් සිටිසන්' පදනම ඔවුන්ට අනුග්‍රහය දක්වයි.

2017 වසරේ දී, ජාත්‍යන්තර රොබෝ තරගාවලිය ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වීමට කටයුතු යෙදුණි. ලොව රටවල් රැසක පාසල් දරුදැරියන් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් ඊට ඉදිරිපත් විය. 'ඩිජිටල් සිටිසන්' පදනම මැදිහත් වී, 'ඇෆ්ගන් ඩ්‍රීමර්ස්' කණ්ඩායම තරගාවලියට ඇතුළත් කිරීමට සියලු කටයුතු සූදානම් කළේය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් පරිපාලනය මුස්ලිම් රටවල් කීපයකට තහංචි පැනැවූ අතර, ඇෆ්ගනිස්තානය ද ඒ අතර විය.

ට්‍රම්ප් පරිපාලනය පැනැවූ තහංචි හේතුවෙන් දැරියන්ට වොෂින්ටන් යෑමට වීසා ලබා ගැනීම අසීරු විය. අවස්ථා කීපයකදීම ඇමෙරිකන් රජය වීසා ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත්, 'ඩිජිටල් සිටිසන්' පදනම දිගින් දිගටම මැදිහත් වී දැරියන්ට වීසා ලබා ගැනීමට කටයුතු කළේය. දැරියන්, රොබෝ තරගය සඳහා නිර්මාණය කළ තිබුණු රොබෝ යන්ත්‍ර ඇමෙරිකාවට ගෙන ඒමට අවසර ලැබුණේ නැත.

අවසානයේ, මාස ගණනක් තිස්සේ වෙහෙස මහන්සියෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍ර නොමැතිව ඇමෙරිකා ගිය දැරියන් කණ්ඩායමට ඇමෙරිකාවේ දී රොබෝ නිර්මාණයක් කළේ තරගාවලියට ඔන්න මෙන්න කියා සති දෙකක් පමණ කෙටි කාලයක් ඇතුළතදීය. දැරියන් අභියෝග සාර්ථකව ජයගත් අතර, ඔවුහු රොබෝ තරගාවලියේ පළමු වටය ජයග්‍රහණය කළහ. 'ඇෆ්ගන් රොබෝ දැරියන්' යන නමින්, ඔවුන් ජාත්‍යන්තරයේ අවධානයට ලක් වූයේ ඒ අනුවය.

ඇලිසන් රීනෝව්ට, 'ඇෆ්ගන් රොබෝ දැරියන්' පළමුවෙන් හමුවූයේ 2019 වසරේ දී 'අඟහරු ලොවට යන ගගනගාමීන්' යන තේමාව ඔස්සේ නාසා ආයතනයේ මැදිහත් වීමෙන් ඇමෙරිකාවේ පැවැති සම්මන්ත්‍රණයකදීය. 2017 වසරේ ලැබුණු ජයග්‍රහණය හේතුවෙන්, දැරියන් කණ්ඩායමට යළි ඇමෙරිකාවට යෑමටත් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමටත් ඇරැයුම් ලැබී තිබුණි. සම්මන්ත්‍රණයේ දී දැන හඳුනා ගැනීමෙන් අනතුරුව, ඇලිසන් රීනෝව් නිරතුරුවම මෙම දැරියන් සමඟ වීඩියෝ තාක්ෂණයෙන් හිතවත්කම් පවත්වා ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවෙන බව නිවේදනය කළ අවස්ථාවේදී, දැරියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇලිසන් රීනෝව් කනස්සල්ලට පත් වූවාය. තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ට ආවේණික දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් එවිට පාසල් අධ්‍යාපනය ලැබීම පමණක් නොව රොබෝ තකේෂණය පිළිබඳ අධ්‍යාපනය ලැබීම හේතුවෙන් දැරියන් 10 දෙනාගේ ජීවිතවලට තර්ජනයක් වේවි යැයි ඇලිසන් රීනෝව් බිය වූ බව පැවැසෙයි.

තලේබාන් සංවිධානය, ඇමෙරිකාව සහ ඇෆ්ගන් රජය අතරේ සාම වැඩපිළිවෙළක් වෙනුවෙන් මැදහත්වී කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. තලේබාන් සාම කාර්යාලය පිහිටුවා ඇත්තේ ද දෝහා කටාර්හිය. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය යළි ඔවුන් අතට ගනිද්දී, ඇෆ්ගන් රාජ්‍ය නිලධාරීන්, මානව ක්‍රියාකාරීන්, මධ්‍යවේදීන්, නීතීඥවරුන් ආදී බොහෝ දෙනකු ආරක්ෂිතව ගෙන්වා ගැනීමට කටාර් රාජ්‍යය කටයුතු කළේය. තලේබාන් සංවිධානය ඊට බාධා කළේ නැත. 'ඇෆ්ගන් රොබෝ දැරියන්' කටාර් රාජ්‍යයට ගෙන යෑමට ඇලිසන් රීනෝව් කල්පනා කළ අතර, කටාර් ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සිටින තම මිතුරියකගේ සහාය ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.

තානාපති කාර්යාලය හරහා කටාර් බලධාරීන්ගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර, දැරියන් කණ්ඩායමට වීසා නිකුත් කෙරුණි. ඒ අනුව, ඇලිසන් රීනෝව්ගේ උපදෙස් පරිදි,  'ඩිජිටල් සිටිසන්' පදනමේ නිර්මාතෘ රෝයා මහ්බූබ් සහ එම පදනමේ විධායක අධ්‍යක්ෂිකාවක වන එලිසබත් ෂැෆෙලර් බ්‍රවුන් මැදහත් වී පසුගිය 12 වැනිදා දැරියන් 10 දෙනා විශේෂ ගුවන් යානයකින් කටාර් බලා ගෙන්වා ගැනීම සිදුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS