තෙවැනි එන්නත් මාත්‍රාවක්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී, අවුරුදු 60 ට වැඩි ඊශ්‍රායල වැසියන්ට, ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම ආරම්භ කළ බව එරට අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසයි.

ඊශ්‍රායලය එරට අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නේ, එසේ කිරීම සුදුසු යැයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමඟය. ඒ අනුව, පළමුවෙන්ම තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත්තේ ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙරෝග් සහ බිරිඳ මිෂෙල්ය. ජනාධිපතිවරයා සහ බිරිඳ එන්නත් ලබා ගන්නා අයුරු එරට පුවත් නාළිකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණේ, තෙවැනි එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමටය.

ඊශ්‍රායල වැසියන්ට දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සාමගම එක් වී නිපදවූ 'ෆයිසර්' එන්නතය. තෙවැනි මාත්‍රාවක් ලෙස ද 60 වැඩි වැඩිහිටියන් සඳහා ලබා දෙන්නේ ද 'ෆයිසර්' එන්නතේ තවත් මාත්‍රාවකි. මේ වනවිට ඊශ්‍රායල ජනගහනයෙන් අවුරුදු 12 ට වැඩි සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දී අවසන්ය.

පළමු සහ දෙවැනි ෆයිසර් එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් 60 වැඩි ඊශ්‍රායල වැසියන්ට, මාස 5 කට පසු තෙවැනි එන්නත් මාත්‍රාවක් එසේ නැතිනම් ප්‍රවර්ධකයක් ලබා දීම අවශ්‍ය යැයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිර්දේශ කළේ, 'ෆයිසර්' සමාගම ප්‍රසිද්ධියට පත් කළ නවතම වෛද්‍ය පර්යේෂණ සැලකිල්ලට ගනිමිනි.

'ෆයිසර්' වෛද්‍ය පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ හරහා පෙන්වා දී ඇති අන්දමට, 'ඩෙල්ටා' වැනි කොරෝනා විකෘති ප්‍රභේද අඩපණ කිරීමට නම්, තෙවැනි මාත්‍රාවක් ලෙස තවත් 'ෆයිසර්' එන්නතක් ලබා දීම කළ යුතුය. ඒ, පළමු සහ දෙවැනි මාත්‍රා නියමිත පරිදි ලබාගෙන, මාස 5 ක කාලසීමාවක් ගතවීමෙන් අනතුරුවය.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS