බයිඩන් හමුවන්න ඕනෑ කමක් නෑ



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ඉරානයේ නව ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි පවසයි.

ඇමෙරිකාව, ඉරානය සහ ලෝක බලවතුන් අතරේ අත්සන් තැබුණු න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට නොනිල සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. එවැනි මොහොතක ඉරාන ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ඉරානයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඉකුත් දා පැවැත්විණි. එයින් ජයග්‍රහණය ලැබීමට ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලී කමේනිගේ සහාය ලබන ඊබ්‍රාහිම් රයිසි සමත්විය.

 ඊබ්‍රාහිම් රයිසි, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මුණ ගැසීමට බලාපොරොත්තු වන්නේ දැයි ඇමෙරිකානු මාධ්‍ය ඔහුගෙන් විමසීමක් කළේය.  ඊට පිළිතුරු දුන් රයිසි “නැහැ” යැයි පැවැසීය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔබාමා පරිපාලනය සමයේ අත්සන් තැබූ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගැනීමට කටයුතු කළේය. ඉන් අනතුරුව ඉරානයට සම්බාධක පැනවීමට ද හිටපු ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.

වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා සාකච්ඡා පවත්වා විරුද්ධවාදීන් වන ඉරානය සහ ඇමෙරිකාව අතර තිබෙන අර්බුද සමථයකට පත් කරගැනීමට ඉරාන නව නායකයා උත්සාහ දරනු ඇතැයි අපේක්ෂාවෙන් මාධ්‍ය එම ප්‍රශ්න යොමු කර තිබිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS