තුර්කි ජනාධිපති සෞදි කුමරු හමුවෙයි



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියේ සංචාරයකට පැමිණ සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු හමුවිය. සෞදි කුමරු තුර්කි ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් අයුරින් වැළඳ ගනිමිණි.

පසුගිය වසර කීපය පුරාවට සෞදියත් තුර්කියත් අතර අර්බුදයක් පැවැතිණි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා බිඳ වැටී තිබුණි. ඊට හේතුව වූයේ 2018 වසරේ දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයයි. මාධ්‍යවේදී කශොග්ජී ඝාතනය වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. ඔහුගේ සිරුර පවා සොයා ගැනීමට නොහැකි වන ආකාරයට එම ඝාතනය සිදුවිය.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වීම තුර්කියේ මැදිහත් වීමෙන් සිදුවුණු අතර, ඝාතනයට සෞදියේ සල්මාන් කුමරු සම්බන්ධ බව තුර්කි ආරක්ෂක අංශ තහවුරු කර ගත්තේය.සෞදිය සහ තුර්කිය අතර ඇයි හොඳයිකම් ඒ අනුව පළුදු විය.

කෙසේ නමුත් මේ වනවිට පළුදු වුණු සබඳතා යළි ගොඩනගා ගැනීමට දෙරට සමත් වී සිටී. තුර්කි ජනාධිපතිවරයා සෞදියට ගියේ ඒ අනුවය. සල්මන් කුමරුන් හමුවීමෙන් පසු තුර්කි ජනාධිපතිවරයා සෞදියේ සල්මාන් රජතුමා ද හමුවීමට නියමිතය. සල්මාන් කුමරු යනු සල්මාන් රජුගේ පුත්‍රයාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS