ඉරාකයට ’ෆයිසර්’ එන්නත



සිවුවැනි රැල්ලට මුහුණ දෙන ඉරාක වැසියන්ට, ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් ලැබී තිබේ. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහාය.

'ෆයිසර්' එන්නත් තොග ඊයේ (20) ලැබුණු බව ඉරාක සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කර ඇත්තේ 'යුනිසෙෆ්' හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමඟ එක් වෙමිනි. එන්නත් බෙදා දීම සිදු කරන්නේ 'යුනිසෙෆ්' සංවිධානය හවුල් කර ගනිමිනි.

මේ වනවිට ඉරාක වැසියන්ගෙන් මිලියන 7කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇත. ඉරාකයේ ජනගහනය මිලියන 40 ක් වන අතර එන්නත් ලබා ගත් ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 17.5 කි.

යුද ගැටුම්, සිවිල් අරගල, දේශපාලනික, ආගමික සහ සමාජීය අර්බුද හේතුවෙන් ඉරාක සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම බිඳ වැටී අවසන්ය. ඉරාක වැසියන් 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන්නේ මෙම අර්බුද මධ්‍යයේය. ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කර ඇති වාර්තා අනුව එරට වැසියන්ගෙන් මිලියන දෙකකට 'කොවිඩ් 19' ආසාදනය වී ඇත. 'කොවිඩ් 19' මරණ වාර්තා වන්නේ 23,628 ක් ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS