බේරූට් විරෝධතාවට වෙඩි ප්‍රහාරයක්



ලෙබනනයේ හිස්බුල්ලා සහ අමාල් දේශපාලන කණ්ඩායම්, බේරූට් අගනුවර සංවිධානය කළ විරෝධතා රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි වැදීමෙන් 6 දෙනකු මියගිය බවත් 30 දෙනකු පමණ තුවාල ලැබූ බවත් ලෙබනන් රතු කුරුස සංවිධානය අල් ජසීරා පුවත් සේවයට පවසා තිබේ.

පසුගිය 2020 වසරේ අගෝස්තු 4 වැනිදා බේරූට් වරායේ අනාරක්ෂිත ලෙස ගබඩා කළ ඇමොනියම් නයිට්‍රේට් පොහොර අංගනයක් පුපුරා මහා විනාශයක් සිදුවිය.

ජීවිත රැසක් එයින් අහිමි විය. බේරූට් නගරයෙන් වැඩි කොටසක් එම පිපිරුමට හසුවීමෙන් විනාශ විය. 218 දෙනකු පිපිරුමට හසුවී ජීවිතක්ෂයට පත්වුණු අතර තුවාල ලැබූ ගණන 7,000 ඉක්මවයි. උන්හිටිතැන් අහිමිවූවන් ගණන ලක්ෂ 3 කි.

එම පිපිරුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර, විමර්ශන මෙහෙයවන්නේ විනිසුරු ටරේක් බිට්කාර් ය.

බේරූට් නුවර විරෝධතා රැලිය පැවැත්වූයේ විනිසුරු ටරේක් බිට්කාර් දේශපාලන වාසි බලාගෙන කටයුතු තරන බවත්, සාධාරණ විමර්ශනයක් සිදුනොවනු ඇති බවත් පෙන්වා දෙමින්, විමර්ශන කමිටුවෙන් බිට්කාර් ඉවත් කරන්නැයි බල කරමිනි.

වෙඩි ප්‍රහාරය එල්ල වූයේ බේරූට් අධිකරණ මන්දිරය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාවට එක් වුණු විරෝධතාකරුවන්ටය. වෙඩි තැබීම කළේ කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS