රාජ්‍ය තාන්ත්‍රිකයන් ආරක්ෂා කරන්න කටාරය මැදිහත් වෙලා



ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ විදෙස් සංවිධාන නියෝජිතයන්ට ආරක්ෂිතව ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට තමන් මැදිහත් වී කටයුතු කළේ යැයි කටාරය පවසයි.

තලේබාන් ග්‍රහණයට පත් වුණු ඇෆ්ගනිස්තානයේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කටාරය මැදිහත් වී කටයුතු කරන බව කටාර් විදේශ අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පවසා තිබේ.

තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කරගත් අවස්ථාවේ, ඇෆ්ගන් රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ට බලය පවරා දීමක් කළේය. සාමකාමී ලෙස එසේ බලය පවරා දීම සිදුවූයේ ද කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් යැයි විදේශ අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පවසා තිබේ.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ කටාර් රාජ්‍යය අතර යහපත් සබඳතා පවතී. තලේබාන්වරුන් දෝහා නුවර සාම කාර්යාලයක් පිහිටුවා ඇත්තේ ද ඒ නිසාය. අසාර්ථක වුවත්, ඇමෙරිකාව, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළක් සහ දිගු කාලීන සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැණුනේ ද මෙම සාම කාර්යාලය හරහාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS