ඉරාකයේ මැදිහත්වීමෙන් කලාපීය සමුළුවක්



අසල්වැසි මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් විශේෂ සමුළුවක් පැවැත්වීමට ඉරාකය කටයුතු කළේය.

සමුළුව පැවැත්වූයේ ඉරාක ජනාධිපති බර්හාම් සාලේගේ අදහසකට අනුව, ඔහුගේ මැදිහත් වීමෙනි.

ඉරාක ජනාධිපතිවරයාගේ ඇරැයුම පිළිගනිමින්, ඊජිප්තු ජනාධිපති  අබ්දෙල් ෆාටා අල් සීසී, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී පමණක් නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවා බැග්ඩෑඩ් නුවර පැවැති මෙම සුවිශේෂී සමුළුවට සහභාගී වූහ.

කුවේටය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද විශේෂ නියෝජිතයන් සමුළුවට එවා තිබුණි. ඊට අමතරව සෞදියේ සහ ඉරානයේ විදේශ ඇමැතිවරු ද සමුළුවට එක් වූහ.

සෞදිය සහ ඉරානය අතර පවතින එදිරිවාදිකම් මැදපෙරදිග කලාපයට විශාල තර්ජනයක් වී ඇති අතර, යේමන්, ලෙබනන් පමණක් නොව ඉරාකය සම්බන්ධයෙන් අර්බුද රැසකට මෙම එදිරිවාදිකම් හේතුවෙයි.

කෙසේ වෙතත් සමුළුව අතරතුරේ සෞදි හෝ ඉරාන විදේශ ඇමැතිවරුන් වෙනම සෘජු සාකච්ඡා පැවැත්වීමක් සිදු කළ බව මෙතෙක් වාර්තා වී නැත.

ඉරානය සහ සෞදිය අතර යහපත් සබඳතා ඇති කිරීමට ඉරාකය මැදිහත් වී සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිට යැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS