සල්මාන් කුමරු කටාරයේ



අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල සංචාරයක නියැළෙන සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු, දෝහා කටාර් බලා පැමිණියේය‍.

වසර ගණනාවක් තිස්සේ සෞදිය, කටාර් රාජ්‍යය සමඟ පැවැති විරසකය අවසන් කර, කටාරයට පනවා තිබුණු සම්බාධක ද ඉවත් කිරීමෙන් අනතුරුව සල්මාන් කුමරු හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් කටාර් බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි.

සෞදිය කටාර් රාජ්‍යයට පැනවූ සම්බාධක ඉවත් කිරීම සිදුවූයේ මෙම 2021 වසරේ ජනවාරියේය.

සල්මාන් කුමරුන්ට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. පෙරේදා (8) රාත්‍රියේ සල්මාන් කුමරුන් සහ කටාර් එමීර්වරයා අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

සල්මාන් කුමරු අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල සංචාරයක නියැළෙන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගල්ෆ් සමුළුවට පෙරය. ගල්ෆ් සමුළුවට අයත් සාමාජික රටවල් මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඒම සමුළුවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව පැවැසෙයි.

ඇමෙරිකාව මැදිහත් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කර ඇත. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමේ දී, ගල්ෆ් කලාපීය රටවල සහාය ලබා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය බලාපොරොත්තු වෙයි.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර අර්බුදයක් නිර්මාණය වූයේ 2017 වසරේදීය. ඒ, කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.  සෞදියේ අසල්වැසියා වන්නේ කටාර් රාජ්‍යයයි.

අර්බුදය හේතුවෙන් එම වසරේදී සෞදිය කටාර් රාජ්‍යයට සම්බාධක පනවමින්, මුහුදු සහ ගොඩබිම් දේශසීමා සියල්ල වසා දැමීය. සෞදියට සහාය දක්වමින්, බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද කටාර් රාජ්‍යය හුදෙකලා කරමින් සම්බාධක පැනැවීමක් කළේය.

එම සම්බාධක හමුවේ කටාරය නොසැලී සිටියේ, තුර්කිය, ඉරානය කටාර් රාජ්‍යයේ පිහිටට සිටි බැවිනි. කෙසේ නමුත් අවසානයේ වසර 5 කට පමණ පසු සෞදිය කටාරයට පැනැවූ සම්බාධක ඉවත් කළේය.

එය සිදුවුණු බව පැවැසෙන්නේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි. ඒ අනුව, බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද කටාර් රාජ්‍යය සමඟ යළි යහපත් සබඳතා ඇති කර ගත්තේය.

ඒ අනුව, සෞදිය, කටාර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ගල්ෆ් සමුළුවට එකට සහභාගී වීමට නියමිතව ඇත්තේ ද වසර ගණනාවකට පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS