සල්මාන් කුමරු ප්‍රංශයට



ග්‍රීසියේ සංචාරය අවසන් කිරීමෙන් පසු සෞදියේ ඔටුන්න හිමි මොහොමද් සල්මාන් කුමරු ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණි අතර, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් කුමරුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

සෞදි අරාබිය සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගනිමින්, සෞදියෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මැක්රොන් සහ කුමරුන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ද මැක්රොන් සහ සල්මාන් කුමරුන්ගේ අවධානය යොමු විය.

රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් තෙල් අර්බුදයකට මුහුණ පා සිටී. එම අර්බුදයට පිළියමක් වශයෙන් ප්‍රංශ රජය ද සෞදියෙන් තෙල් මිලදී ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වයි.

ගල්ෆ් අරාබි කලාපයේ විශාලතම තෙල් නිෂ්පාදිතයා සෞදියයි.

සෞදි කුමරුන්ගේ සංචාරයට ප්‍රංශ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දැඩි විරෝධයතක් එල්ල විය. ඒ, 2018 වසරේදී මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ කුමරුන්ගේ අනුදැනුම යටතේ යැයි චෝදනා එල්ල වී ඇති බැවිනි. කශොග්ජී ඝාතනයෙන් පසු ඔටුන්න හිමි සල්මාන් කුමරුන් යුරෝපා සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙයයි.

ප්‍රංශ ජනාධිපති මන්දිරය හෙවත් ‘ඉලීසේ’ මාලිගයට පැමිණි කුමරුන් උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් කටයුතු කළා පමණක් නොව, කුමරුන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

(රොයිටර්)


RECOMMEND POSTS