ඊජිප්තු-ජෝර්දාන-ඉරාක රාජ්‍ය නායකයෝ හමුවෙති



ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී, ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී සහ ජෝර්දානයේ තෙවැනි අබ්දුල්ලා රජු අතරේ හමුවක් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී පැවැත්විණි.

කලාපීය වශයෙන් පවතින අර්බුදවලට විසඳුම් සෙවීමට අල් සීසී, මුස්තාෆා අල් කඩීමී සහ අබ්දුල්ලා රජු කටයුතු කළහ. රටවල් තුන අතරේ සහයෝගීතා වර්ධනය කර ගැනීම රාජ්‍ය නායකයන් තිදෙනාගේ ප්‍රධාන අරමුණ වූ බව පැවැසෙයි.

ඊජිප්තු ජනාධිපති ඉරාකයට පැමිණීම සුවිශේෂී සිදුවීමක් ලෙස ද සැලකෙයි. ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්, 1990 වසරේ කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු, ඊජිප්තු ජනාධිපතිවරයකු ඉරාකයේ සංචාරයකට ආ පළමු අවස්ථාව මෙයයි.

ඉරාකයත් ඊජිප්තුවත් අතර මිතුදම් දෙදරා ගියේ පළමු ගල්ෆ් යුද සමයේදීය. කෙසේ නමුත් සාකච්ඡා කරමින් හිත් අමනාපකම් මඟ හරවා ගැනීමට ඊජිප්තු සහ ඉරාක නායකයෝ පසුගිය වසර කීපය පුරා කටයුතු කළහ. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී, ඉරාකයට පැමිණ ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී හමුවන්නේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

බැග්ඩෑඩයේදීය (රොයිටර්)


RECOMMEND POSTS