සෞදියත් සිරියාවත් අතරේ යහපත් සබඳතා



සෞදි අරාබිය සහ සිරියාව අතර යහපත් සබඳතා වර්ධනය වී ඇති බවත්, දෙරට අතරේ කොන්සියුලර් සේවා කඩිනමින් ආරම්භ වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි රජය සහ බෂාර් අල් අසාද්ගේ සිරියානු රජය අතරේ මෙසේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ වූයේ වසර 10 කට පසුවය.

පසුගියදා සෞදිය සහ ඉරානය අතරේ යහපත් සබඳතා ආරම්භ විය. ඒ චීනයේ මැදිහත් වීමෙනි.

එසේ සාකච්ඡා පැවැත්වෙද්දී සෞදි රජය දිගින් දිගටම කියා සිටියේ යළිත් වරක් සිරියාවේ අසාද් රෙජීමය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට තමන් සූදානම් බවය.

සිරියානු යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියාවේ බෂාර් අල් අසාද් රෙජීමය හුදෙකලා කරද්දී, සෞදි අරාබිය ද ඊට එක් විය. සෞදිය සහ සිරියාව අතර සබඳතා බිඳ වැටී ගියේ ඉන් පසුවය.

පසුගිය පෙබරවාරියේ තුර්කිය මෙන්ම සිරියාව ද ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. එම අවස්ථාවේදී, සෞදිය එදිරිවාදිකම් අමතක කොට සිරියානු රජයට හැකි පමණින් මානුෂීය ආධාර ලබා දුන්නේය. යළි මිතුදම් වර්ධනයට මෙය ද හේතුවක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS