තානාපති නිලධාරීන් නෙරපන්න සැරැසෙයි



ඇමෙරිකාව සහ ජර්මනිය ඇතුළු රටවල් 10 ක තානාපතිවරුන් නෙරපා හරින්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය විදේශ ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ එරට අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවකු මුල්කොට ගනිමිනි.

2016 වසරේ ජනාධිපති එර්දොවාන් බලයෙන් නෙරපා දැමීමට තුර්කි හමුදාව කුමන්ත්‍රණයක් ආරම්භ කළත්, තුර්කි වැසියන් වීදි බැස ජනපති එර්දොවාන්ට සහාය පළ කළ බැවින් කුමන්ත්‍රණය අසාර්ථක විය.

කුමන්ත්‍රණය මෙහෙයවූ හමුදා ප්‍රධානීන්, විපක්ෂ ක්‍රියාකාරීන්, සරසවි ආචාර්යවරුන්, සිසුන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනුණි. ඇතැමුන්ට මරණ දඩුවම පවා හිමිවිය.

තුර්කි ජනාධිපති එර්දොවාන් සහ බටහිර රටවල් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එසේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින මානව හිතවාදියකු, සමාජ ක්‍රියාකාරියකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකු ද වන 67 හැවිරිදි ඔස්මාන් කවාලා නිසාය.

පැරිසියේ උපන් කවාලා තුර්කි ජාතිකයකු වන අතර, ඔහු 2017 වසරේ සිට තුර්කි අත්අඩංගුවේ පසුවෙයි. බටහිර රටවල් පෙන්වා දෙන අන්දමට ඔස්මාන් කවාලා දේශපාලන සිරකරුවකු වුවත් තුර්කි ජනාධිපතිවරායට අනුව කවාලා බටහිර සහාය ලබන දේශද්‍රෝහියෙකි. තමන්ට එරෙහිව සාධාරණ අන්දමින් නඩු විභාගයක් පැවැත්වෙන්නේ නැතැයි ඔස්මාන් කවාලා සිය නීතීඥවරුන් හරහා මාධ්‍ය වෙත පවසා ඇත.

ඇමෙරිකාව සහ ජර්මනියට අමතරව කැනඩාව, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය සහ ප්‍රංශය තුර්කියේ ඔවුන්ගේ තානාපතිවරුන් හරහා තුර්කි රජයට බල කර ඇත්තේ කඩිනමින් කවාලා නිදහස් කරන ලෙසටය. මෙම රටවල් දහයේ තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, කවාලා නිදහස් කරන්නැයි තුර්කි රජයෙන් ඉල්ලීමක් කළේය. මෙය තුර්කි ජනාධිපතිවරයාගේ උදහසට හේතුවක් විය.

තුර්කිය නේටෝ සාමාජක රටකි. නෙරපා හරින්නැයි තුර්කි ජනාධිපති උපදෙස් ලබා දුන් තානාපතිවරුන් 10 දෙනාගෙන් 7 දෙනකු නේටෝ සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන්ය.

ඒ අනුව, මෙම සිදුවීම මුල්කොට ගනිමින් වසර 19 ක තුර්කි ජනාධිපති එර්දොවාන්ගේ පාලනය සහ බටහිර රටවල් අතරේ අර්බුදයක් නිර්මාණය වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

(අල් ජසීරා)


RECOMMEND POSTS