ඇලෙප්පෝ ගුවන්තොටුපොළ අඩපණ වෙයි



ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ ඇලප්පෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදුවිය.

සිරියානු මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු මුළුමනින්ම අඩපණ වුණු බවය.

ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත. ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට දරුණු හානි සිදුවුණු බව පැවැසෙයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව හෝ ඊශ්‍රායල රජය හෝ කිසිවක් පවසා නැත.

සිරියාවේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, 2012 වසරේ සිටය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ ගන්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් ඉවත් කිරීමටය. එම විපක්ෂ කණ්ඩායම්වලට බටහිර රටවල සහාය හිමිවෙයි.

ඇලෙප්පෝ නගරය සහ ගුවන්තොටුපොළ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ග්‍රහණයේ පවතී. මීට මාසයකට පෙර හටගත් ප්‍රබල භූමි කම්පාවෙන් ද දරුණු ලෙස හානි සිදුවූයේ ඇලෙප්පෝ නගරයටය.

(රොයිටර්)


RECOMMEND POSTS