අයතුල්ලා අලී කොමේනිට අපහාස කාටූන් පළ කරලා



ප්‍රංශයේ ‘චාලි හෙබ්ඞ්ඩෝ’ සඟරාවේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී හාස්‍යයට ලක් කරමින් විකට කාටූන් පළ වීමත් සමඟ ඉරානයත් ප්‍රංශයත් අතර නව අර්බුදයක් නිර්මාණය වී ඇත.

‘චාලි හෙබ්ඞ්ඩෝ’ සඟරාවේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනීගේ විකට කාටූන් පළ වීම සම්බන්ධයෙන් ඉරාන රජය, ප්‍රංශ රජයට දොස් නගා ඇත්තේ, එසේ කාටූන් පළ කිරීම සම්බන්ධයෙන් ඵලවිපාකවලට මුහුණ දීමට ප්‍රංශයට සිදුවනු ඇති බව පවසමිනි.

මහම්මත්තුමාට, ඉස්ලාම් දහමට සහ ඉරාන උත්තරීතර නායකයාට අපහාස වන අයුරින් මීට පෙර ද අවස්ථා ගණනකදී ‘චාලි හෙබ්ඞ්ඩෝ’ සඟරාවේ විකට කාටූන් පළ වී තිබේ. ඒ සෑම අවස්ථාවකදීම ප්‍රංශ රජයට දොස් අහන්න සිදුවිය. ප්‍රංශ රජය පවසන්නේ එරට අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවය.

මෙවර ‘චාලි හෙබ්ඞ්ඩෝ’ සඟරාවේ නවතම කාටූන්වලට පාදක වී ඇත්තේ ඉරානයේ දිනෙන් දින ඔඩුදුවන විරෝධතාය.

ඉරානයේ විරෝධතා ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙරය. ඒ නිසි ලෙස හිජාබය පැලැඳ නොසිටි ඉරාන කුර්දි තරුණියක පොලිස් අත්අඩංගුවේදී මියයෑමේ සිද්ධියකි. විරෝධතා පැවැත්වෙන්නේ ඉරානයේ හිජාබ නීතිය විවේචනයට ලක් කරමිණි.
ඉරාන රජයේ හිජාබ පැලඳීමේ නීතිය හෙලා දකිමිනි.

“ඉස්ලාම් දහමට හෝ උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනීට හෝ අපහාස කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ප්‍රංශ රජය ඔවුන්ගේ සීමාව ඉක්මවා ගිහින්.” යැයි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ් දුල්ලාහියන් ට්විටර් පණිවුඩයකින් පවසා තිබේ.

‘චාලි හෙබ්ඞ්ඩෝ’ සඟරාව අපහාසාත්මක කාටූන් පළ කිරීම සම්බන්ධයෙන්, තෙහෙරාන් අගනුවර ප්‍රංශ තානාපති නිකෝලාස් රෝච් ගෙන්වා අප්‍රසාදය පළ කළ බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS