ඇමෙරිකන් රාජ්‍ය ලේකම් කටාර් සංචාරයකට සැරසෙයි



ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කටාර් රාජ්‍යයටත් ඉන්පසු ජර්මනියටත් යෑමට නියමිතය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ ඇෆ්ගන් තලේබාන්වරුන් සම්බන්ධ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමය.

තලේබාන්වරුන් සහ ඇමෙරිකාව අතර පසුගිය කාලයේ සාකච්ඡා පැවැත්වීම සිදුවූයේත්, මේවනවිට සබඳතා පවතින්නේත් කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම කාර්යාලය පිහිටා ඇත්තේ ද දෝහා කටාර්හිය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ආරක්ෂිතය පිටවී යෑම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. ඇෆ්ගනිස්තානයේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට තමන් සහාය දක්වන බව කටාර් රාජ්‍යය පවසා තිබේ. මේ වනවිට කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු යළි පවත්වාගෙන යෑමට සහාය පළ කරන්නේ ද කටාර් රාජ්‍යයයි.

කටාර් ඉන්ජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායමක් කාබුල් වෙත පැමිණ සිටින බව ද වාර්තා වේ. ඊට අමතරව, ඇෆ්ගන් වැසියන් අවශ්‍ය ඖෂධ ඇතුළු ආධාර තොගයක් ද කටාර් රාජ්‍යය ඇෆ්ගනිස්තානයට යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තලේබාන්වරුන් පිහිටුවන නව ඇෆ්ගන් රජය පිළිගැනීමට ඇමෙරිකාව හෝ නේටෝ සාමාජික රටවල් හෝ හදිසි නොවන බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ජර්මනිය පවසා ඇත්තේ තලේබාන් පාලන රජයකට තමන් කිසිම අවස්ථාවක සහාය ලබා නොදෙන බවය.

ජර්මනිය යුරෝපා සංගමයට අයත් රටකි. යුරෝපා සංගමයට අයත් සෙසු රටවල් පවසා ඇත්තේ, තලේබාන්වරුන් පොරොන්දු වූ පරිදි ජනතා හිතවාදී රජයක් පිහිටුවා, මානව අයිතීන් සුරැකීමට පියවර ගන්නේ නම්, ඔවුන් සමඟ යහපත් සබඳතා ආරම්භ කිරීමට පසුබට නොවන බවය.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS