ඊශ්‍රායල තුර්කි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ඇරැඹේ



වසර ගණනක් තිස්සේ පැවැති එදිරිවාදිකම් අවසන් කරමින්, පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබ‌ඳතා ආරම්භ කිරීමට ඊශ්‍රායලය සහ තුර්කිය කැමැත්ත පළ කර තිබේ.

ඊශ්‍රායලය සහ තුර්කිය අතර එදිරිවාදිකම් නිර්මාණය වූයේත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටුණේත් පලස්තීනය මුල්කොට ගනිමිනි.

පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ වුවත්, පලස්තීනුවන් වෙනුවෙන් දිගටම තමන් පෙනී සිටින බවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අවධාරණය කර ඇත.

කලාපීය ස්ථාවරත්වයක් සඳහා ඊශ්‍රායල සහ තුර්කිය අතරේ යහපත් සබඳතා තිබිය යුතු බවත්, එසේ වීම ගැන තමන් සතුටට පත් වන බවත් ඊශ්‍රායලයේ වැඩ බලන අග්‍රාමාත්‍ය යාර් ලුපිද් පැහැදිලි කර තිබේ.

ඊශ්‍රායලයත් තුර්කියත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූයේ දෙරටේ තානාපතිවරුන් සහ කොන්සල් ජනරාල්වරුන් ඔවුන්ගේ නියමිත රාජකාරි යළි ආරම්භ කිරීමත් සමඟය.

තුර්කි විදේශ අමාත්‍ය මෙවුලුත් කොස්වෝග්ලූ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, දෙරටේ තානාපතිවරුන් සහ කොන්සල් ජනරාල්වරුන් යළි රාජකාරි ඇරැඹීම සතුටට කරුණක් බවය.

මීට මාස දෙකකට පෙර, ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙර්සොග්ගේ ඇරැයුමකට අනුව, තුර්කි විදේශ අමාත්‍ය මෙවුලුත් කොස්වෝග්ලූ ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණියේය. තුර්කි විදේශ අමාත්‍යවරයකු මෙසේ ඊශ්‍රායලයට පැමිණියේ වසර 15 කට පසුවය.

ඊශ්‍රායලය සහ තුර්කිය අතර බිඳ වැටුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය කර ගනිමු යැයි එහිදී සාකච්ඡා වූ අතර තුර්කිය ඊට කැමැත්ත පළ කළේය. එම සංචාරය අතරතුරේ, තුර්කි විදේශ අමාත්‍යවරයා ගාසා තීරයට ගොස් පලස්තීන නායකයන් ද හමුවිය.

පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළිත් වරක් ආරම්භ වූයේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යාර් ලුපිද් අතරේ දීර්ඝ වශයෙන් පැවැති දුරකත සංවාදවලින් අනතුරුව යැයි ද පැවැසෙයි.

රාජ්‍ය තාන්ත්‍රක සබඳතා යළි ශක්තිමත් වීම සම්බන්ධයෙන්, තුර්කි ජනාධිපති එර්දොවාන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ මෙය ඓතිහාසික තීරණයක් බවය.

ඊශ්‍රායලය සහ තුර්කිය අතර ඇයිහොඳයිකම් පළුදු වීමට පටන් ගත්තේ 2008 වසරේ සිටය. ඒ, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙනි. 2010 දී පලස්තීනුවන්ට ආධාර රැගෙන ආ තුර්කි නැවක් වටලා ඊට බලෙන් කඩා වැදීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කළේය.

ඊශ්‍රායල හමුදා නැවට කඩා වැදී කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පසුව ඊශ්‍රායල රජය මියගිය එම වැසියන්ගේ පවුල්වලට වන්දි ගෙවීමක් කළ ද දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් විය.

(රොයිටර්)


RECOMMEND POSTS