රුසියාවට-ඉරානයට ඕස්ට්‍රේලියාවෙන් සම්බාධක



ඕස්ට්‍රේලියාව, රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. ඕස්ට්‍රේලියාව මෙසේ සම්බාධක පනවා ඇත්තේ රුසියව සහ ඉරානය අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරන බව පෙන්වා දෙමිනි.

ඉරාන රජයට, රාජ්‍ය නිලධාරින්ට, එරට සදාචාරය සුරැකීමේ පොලිසිය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් මෙසේ සම්බාධක පැනැවීම සිදු කරන බව ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය පෙනී වොංග් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වෙයි.

මේවනවිට ඉරාන රජයට එරෙහිව විරෝධතා පැවැත්වෙයි. ඒ, පසුගිය සැප්තැම්බරයේ 22 හැවිරිදි ඉරාන-කුර්දිස්තාන තරුණියක මියයෑම සම්බන්ධයෙනි.

මෙම තරුණිය, ඉරාන සදාචාරය සුරැකීමේ පොලිස් අත්අඩංගුවට ගැනුනේ ඇය නිසි ලෙස හිජාබය පැලැඳ නොසිටි බැවිනි. පොලිස් අත්අඩංගුවේ සිටිද්දී තරුණිය මියගියාය. ඒ අනුව, එදා සිට මේ දක්වා ඉරාන රජයට එරෙහිවත්, හිජාබ් පැලඳීමේ නීතියට එරෙහිවත් විරෝධතා පැවැත්වෙයි. ‍

ඉරාන රජයට ඉතා දරුණු අන්දමින් එම විරෝධතා මර්දනය කරමින් සිටී. මේ වනවිට ඉරාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය විරෝධතාකරුවන් ගණන 1000 කට ආසන්න යැයි පැවැසෙයි.

ඕස්ට්‍රේලියාව රුසියාවට සම්බාධක පනවා ඇත්තේ එරට විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සි නෙවල්නිට සිදු කරන කෙණෙහිලිකම් මුල්කොට ගනිමිනි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නෙවල්නි ඝාතනය කිරීමට උත්සාහ ගත් බවට ද චෝදනා එල්ල වී ඇත. නෙවල්නි සම්බන්ධයෙන් සහ විපක්ෂ ක්‍රියාකාරීන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියන් රජයේ බොහෝ දෙනකුට ඕස්ට්‍රේලියාව සම්බාධක පනවා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS