ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ඕනෑ



ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි සාම සැලැස්මක් අවශ්‍ය බවත්, ඊශ්‍රායල අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍යමය විසඳුමකින් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

දින 11 ක ගැටුම්වලින් පසු මේ වනවිට ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ සටන් විරාමයක් ආරම්භ වී ඇත. එම සටන් විරාමය අතරතුරේ පලස්තීනුවන්ට අවශ්‍ය ආධාර ලබා දීමත්, ස්ථිරසාර සාම වැඩපිළිවෙළක් සකස් කීරීමත් කෙරෙහි ඇමෙරිකන් ජනපති බයිඩන්ගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, බයිඩන්ගේ උපදෙස් මත ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන් මැදපෙරදිග කලාපයේ සංචාරය කරනු ඇත. එම සංචාරයේ දී බ්ලින්කන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, පලස්තීන පාලන අධිකාරිය නියෝජනය කරන පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවීමට නියමිතය.

දින 11 කට ගැටුම්වලින් පසු, පසුගිය දා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් ආරම්භ වූයේ ඊජිප්තුවේ මැදිහත් වීමෙනි. බ්ලින්කන්, ඊජිප්තුවේත්, ඊශ්‍රායලයේ අසල්වැසියකු වන ජෝර්දානයේත් සංචාරය කරනු ඇතැයි ධවල මන්දිරය පවසයි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳමින්, ද්වී රාජ්‍යමය විසඳුමකට යෑමට නම් අසල්වැසි කලාපීය රටවල සහාය ඊට අවශ්‍ය බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පෙන්වා දී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS