සිරියානු ජනාධිපතිවරණය මැයි 26 වැනිදා



සිරියානු ජනාධිපතිවරණය ලබන මැයි 26 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සිරියානු සිවිල් යුද්ධය අතරතුරේ එරට පැවැත්වෙන දෙවැනි ජනාධිපතිවරණය මෙයයි. සිරියානු සිවිල් යුද්ධයට හේතුවී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ බලයේ රැදී සිටින සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට ධුරයෙන් ඉවත් වන්නැයි බටහිර හිතවාදී විපක්ෂ දේශපාලන කණ්ඩායම් බල කිරීමය.

බෂීර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ ඔහුගේ පියා හා‍ෆේස්ගේ අභාවයෙන් පසු 2000 වසරේදීය. එලැඹෙන ජනාධිපතිවරණයෙන් ද අසාද් ජයග්‍රහණය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් තමන් එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න අසාද් තවමත් නිල වශයෙන් පවසා නැත. ජනාධිපතිවරණය ලබන මැයි 26 වැනිදා පැවැත්වෙන බව නිවේදනය කළේ පාර්ලිමේන්තු කතානායකවරයාය.

මෙවර ජනාධිපතිවරණයේ දී විදේශගත සිරියානුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන  බව ද පාර්ලිමේන්තු කතා නායක හමෝදා සබාග් පවසා තිබේ.

සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන ගණනක් සිවිල් වැසියන්ට උන්හිටිතැන් අහිමිවී ඇති අතර, ඔවුන්ට පසුගිය ජනාධිපතිවරණයේ දී පවා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS