ලිබියානු පාර්ලිමේන්තුවට ගිනි තියලා



ලිබියාවේ ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරී විරෝධතාකරුවෝ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමිනි. විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ටයර් පිළිස්සූ බව ද ලිබියානු මාධ්‍ය වාර්තා කළේය.

තෙල් සම්පතින් පොහොසත් මැදපෙරදිග රාජ්‍යයක් වුවත් ලිබියාව, අද වනවිට දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් ද අස්ථාවර වූ රාජ්‍යයකි. අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව දිනෙන් දින ඉහළ යයි.

ලිබියාවේ පවතින්නේ අන්තර්වාර රජයක් වන අතර එම රජයට නායකත්වය දෙන්නේ අබ්දෙල් හමීද් ඩලීබා ය. කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා දේශපාලනික අර්බුදය විසඳන බවට අබ්දෙල් හමීද් ඩලීබා පොරොන්දු වී ඇති නමුත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දිනෙන් දින කල් යයි.

මෙය ජනතා විරෝධයට හේතුවක් වී ඇති අතර ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සහ සෙසු ප්‍රධාන නගර රැසකම ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එහි කොටසක් ගිනි තබා විනාශ කළේ එම විරෝධතාවලට එක්වන ලිබියානු වැසියන්ය.

‘අරාබි වසන්තය’ නමින් හැඳින්වුණු රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ල ලිබියාවට පැතිර ගියේ 2011 වසරේ දී ය. ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ ලිබියාවට නායකත්වය දුන් ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහි කැරැල්ලක් ආරම්භ විය. එම කැරැල්ල මෙහයවූයේ ලිබියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

කර්නල් ගඩාෆි, හමුදාව සහ පොලිසිය යොදවා විපක්ෂය සංවිධානය කළ විරෝධතා මර්දනය කරද්දී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් විපක්ෂ කැරැලිකරුවන්ට සහාය හිමිවිය. අවි ආයුධ පවා ලැබුණි. ලිබියාවේ සිවිල් යුද්ධයක් නිර්මාණය වූයේ ඒ අනුවය.

2011 වසරේ දී සිවිල් යුද්ධය උත්සන්න වෙද්දී කැරැලිකරුවන් අතින් ගඩාෆි අමු අමුවේ ඝාතනය කෙරුණි. ඉන්පසු නව රජයක් පිහිටුවීමේදී බටහිරට සහාය ලබා දෙන විපක්ෂ කැරැලිකාර කණ්ඩායම් සහ බටහිරට විරෝධය දැක්වූ කැරැලිකාර කණ්ඩායම් අතරේ බෙදීමක් හටගත්තේය.

ලිබියාව අස්ථාවර රාජ්‍යයක් බවට පත්වුණු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, අන්‍රග්‍රහය දක්වමින් නව රජයක් පිහිටවූවත්, එම රජය බිඳ වැටුණි.

ලිබියාවේ හටගත් ප්‍රචණ්ඩකාරී විරෝධතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලිබියානු නියෝජිතවරිය ස්ටෙෆනී විලියම්ස් ඊයේ (2) දිනයේ කනස්සල්ල පළ කළාය.

“ලිබියාවේ දේශපාලන පක්ෂ සියල්ල ඔවුන්ගේ දේශපාලනික මතවාද බැහැර කර, රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් එක් වී තීන්දු තීරණ ගන්න ඕනෑ. කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් පිහිටුවීම කළ යුතුයි” ස්ටෙෆනී විලියම්ස් බීබීසී පුවත් පුවත් සේවය සමඟ පැවැසුවාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS