ඉතියෝපියා වේල්ල අර්බුදය දුරදිග යයි



නයිල් නදිය හරහ් කරමින්, ඉතියෝපියාව ඉදි කරන දැවැන්ත වේල්ල සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඊජිප්තුව, සුඩානය සහ ඉතියෝපියාව අතර සාකච්චා පැවැත්වුණු නමුත් ඒවා අසාර්ථක විය.

ඉතියෝපියා රජය ඉදිකරන මෙම අති දැවැන්ත වේල්ලට විරෝධය දක්වන්නේ ඊජිප්තුව සහ සුඩානයයි. ඒ, නයිල් නදිය හරස් කිරීමෙන් ඊජිප්තුව සහ සුඩානය ජල අර්බුදයකට මුහුණ පා සිටින බැවිනි. වේල්ල සම්බන්ධයෙන්, සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කොංගෝ ජනරජයේ කිංෂාසාහිදීය.

සාකච්ඡා සඳහා කිංෂාසා නුවරට රැස්වූයේ ඊජිප්තුවේ, සුඩානයේ සහ ඉතියෝපියාවේ විදේශ ඇමැතිවරුන්ය. වේල්ල ඉදිකිරීම සම්බන්ධයෙන්, ඉතියෝපියා රජය ගන්නා ක්‍රියාමාර්ග අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීමක් යැයි සුඩාන විදේශ ඇමැතිවරයා චෝදනා නැගූ බව වාර්තා වේ.

වේල්ල සම්බන්ධයෙන් හටගත් අර්බුදයට පිලියම් සෙවීමට, ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් එක් වී සිටී. අර්බුදයට විසඳුම් ලෙස ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සියල්ල ඉතියෝපියාව විසින් බැහැර කරනු ලැබ තිබේ.

ඉතියෝපියාව මෙම වේල්ල ඉදි කරන්නේ එරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමත් බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට විදුලිය නිපදවීමේත් අරමුණින්ය. දැවැන්ත වේල්ල අදියර කීපයක් යටතේ ඉදිවන අතර මේ වනවිට පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වී තිබේ. නයිල් නදිය හරස් කිරීමෙන් ඊජිප්තුව සහ සුඩානය ජල අර්බුදයකට මුහුණ පා ඇති අතර, ගොවිතැන් කටයුතුවලට ද බාධා එල්ල වී ඇත.

කිංෂාසාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS