නෙදන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය



ඊශ්‍රායලය පුරා විරෝධතා පැවැත්වෙයි. එ්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හඳුන්වා දීමට සැරැසෙන නව අධිකරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙනි.

දේශපාලනඥයන්ට, වැඩි බලතල ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාර්ය අවම කිරීමේ අරමුණින් එම නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට අග්‍රාමාත්‍ය නෙදන්යාහු උත්සාහ ගන්නා බවට චෝදනා එල්ල වෙමින් පවතී.

නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පසුගිය 25 වැනිදා සිදුවිය. එම අවස්ථාවේදී, ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ටෙල් අවීව් නුවරට රැස්වී, ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වන්න වූහ.

නව අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතව ඇත. නව ප්‍රතිසංස්කරණ අනුමත වුවහොත් එමගින් විනිසුරුවන් පත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වනු ඇතැයි විරෝධතාකරුවෝ පෙන්වා දෙති.

මේ අතර, අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, ජනතාවට කන් දෙමින් එම ප්‍රතිසංස්කරණ තාවකාලිකව අත්හිටුවිය යුතු යැයි යෝජනා කළ ඊශ්‍රායල ආරක්ෂක ඇමැති යොඈව් ගලාන්ට් ධුරයෙන් නෙරපා දැමීමට, අග්‍රාමාත්‍ය නෙදන්යාහු පියවර ගෙන තිබේ. එය විරෝධතා උත්සන්න කිරීමට හේතුවක් විය.

අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය මසක කාලයක් සඳහා තාවකාලිකව අත් හිටුවිය යුතු බව ග්ලාන්ට් යෝජනා කළ අතර නෙදන්යාහුගේ විරෝධයට හේතුවක් වූයේ එයයි.

ක්‍රියාත්මක කිරීමට සූදානම් වුණු එම අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ඊශ්‍රායලයේ මිත්‍ර රාජ්‍යයන් පවා ප්‍රශ්න කර ඇති අතර ඒ පිළිබඳ ඊශ්‍රායල වැසියන්ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.

විරෝධතා උත්සන්න වෙද්දී, ඊශ්‍රායල ජනාධිපති හෙර්සොග්, අර්බුදයට මැදිහත් වී අග්‍රාමාත්‍ය නෙදන්යාහුට දැනුම් දී ඇත්තේ වහා නව අධිකරණ ප්‍රතිසංස්කරණ අත්හිටුවන ලෙසය.

නව ප්‍රතිසංස්කරණවලට වඩා ජනතා සමඟිය සහ එකමුතුකම වටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS