ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලයක් ජෙරුසලමේ



ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලයක් නැවත ජෙරුසලමේ විවෘත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනයේ සැලසුමට ඊශ්‍රායලයේ විරෝධය එල්ල වී තිබේ.

පලස්තීන ජනතාව වෙනුවෙන් නැවත වරක් ජෙරුසලෙමේ ඇමෙරිකානු කොන්සියලුර් කාර්යාලයක් විවෘත කිරීම සම්බන්ධයෙන් ජෝ බයිඩන් පරිපාලනයට සැලසුමක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔවුහු අවස්ථා කිහිපයකදීම අදහස් දැක්වූහ.

ඊට ඊශ්‍රායලයේ විරෝධය එල්ල වී තිබෙන අතර අදාළ කොන්සියුලර් කාර්යාලය ජෙරුසලෙමේ වෙනුවට බටහිර ඉවුරේ විවෘත කරන්නැයි ඊශ්‍රායලයෙන් යෝජනා වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලෙම ලෙස පිළිගනිමින් ඊශ්‍රායලය සතුටට පත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන ගියේ ය.

ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තෙල් අවිව් නුවර පිහිටා තිබූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් එය ජෙරුසලෙමේ ගෙන යෑමට පියවර ගත්තේ 2018 වසරේ දී ය. පලස්තීනයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ලොව බොහෝදෙනාගෙන් විශේෂයෙන්ම ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශවවලින් පවා ඊට විරෝධය එල්ල විය.

පලස්තීනයට සිය අනාගත රාජ්‍යයකට අගනුවර ලෙස නැගෙනහිර ජෙරුසලෙම අවශ්‍ය කෙරෙන අතර ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය හේතුවෙන් එම බලාපොරොත්තුවට දරුණු පහරක් එල්ල විය. ඊශ්‍රායලය 1967 දී නැගෙනහිර ජෙරුසලෙම අල්ලා ගත් අතර ජෙරුසලෙම තමන්ගේ අගනුවර යැයි දැඩිව ප්‍රකාශ කරයි.

පලස්තීනය සමඟ සම්බන්ධ නැවත සකසා ගැනීමේ අරමුණින් කොන්සියුලර් කාර්යාලය නැවත විවෘත කරන බවට බයිඩන් පරිපාලනය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇති නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නොමැත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS