බාලිකාවන්ට තහංචි දැමීම අනුමත කරන්න බෑ



ඇෆ්ගනිස්තානයේ බාලිකාවන්ට තලේබාන් පාලනය පනවා ඇති තහංචි සහ කොන්දේසි සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත් තමන් එම තහංචි සහ කොන්දේසි කිසිසේත් අනුමත නොකරන බවත් කටාර් රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පවසයි.

බාලිකා අධ්‍යාපනය සම්බන්ධයෙන් තලේබාන්වරුන් ගෙන ඇති පියවර ඉදිරියට තැබූ පියවරක් නොව, පසුපසට තැබූ පියවරක් බවත් ඒ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය කනස්සල්ල මෙන්ම කනගාටුව ද පළ කරන බව කටාර් විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ යළිත් වරක් රටේ බලය තහවුරු කර ගැනීමට තලේබාන්වරුන් සමත් වූ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ බාලිකා අධ්‍යාපනයට නිදහස දෙන බවත්, කාන්තාවන්ට නිදහසේ ජීවත්වීමට අවසර දෙන බවත්ය.

කෙසේ නමුත් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පිහිටුවා ඇති තලේබාන් රජය තීරණය කර ඇත්තේ ද්විතීක බාලිකා පාසල්වලට අවසර නොදෙන බවත්, උසස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියන් බුර්කාවෙන් සැරසී, තලේබාන් ධජ අතැතිව තලේබාන්වරුන්ගේ ගුණ වයමින් අධ්‍යාපනය හැදෑරිය යුතු බවය. විශ්ව විද්‍යාලවල සිසුවියන්, සිසුවියන්ගෙන් වෙන් කර තැබීමට ද තලේබාන් පාලකයන් උපදෙස් දී ඇත.

ඇෆ්ගන් තලේබාන්වරුන් සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා පවත්වා ගෙන යෑමටත්, සාම වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡා පැවැත්වීමට ද මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. තලේබාන් සාම කාර්යාලය පිහිටුවා ඇත්තේ ද කටාර් හි දෝහා නුවරය. පසුගිය කාලයේ ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ මෙම සාම කාර්යාලය හරහාය.

ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් සිවිල් වැසියන් පමණක් නොව, එරට සිටි විදේශිකයන්ට ආරක්ෂිතව ඇෆ්ගනිස්තානයෙන් පිටත් කර ගැනීම සිදුවූයේ ද කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. ඇෆ්ගන් සරණාගතයන් ලොව විවිධ රටවලට යෑම සිදුවූයේ කටාර රාජ්‍යය මැදිහත් වීමෙනි.

අද වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පාලන කටයුතු සිදු කරන්නේ ද කටාර් රාජ්‍යයේ උදවු ඇතිවය. කටාරය පවසා ඇත්තේ, තලේබාන්වරුන්ට ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමටත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාවක් උදාකර දීමටත් තමන් සහාය දක්වන බවය.

කෙසේ නමුත් තලේබාන් පාලකයන් යළි ඔවුන්ට ආවේණික 'ෂරියා' නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන්ට විරෝධය දක්වන පුද්ගලයන් සොයා පහර දී මරා දැමීමටත්, මාධ්‍යවේදීන් මරා දැමීමටත්, කලාකෘති, ස්මාරක, පොත්පත් ආදිය විනාශ කිරීමටත් පටන්ගෙන තිබේ. මෙය ද කටාර් රාජ්‍යයේ අප්‍රසාදයට හේතුවක් වී ඇති බව කටාර් රාජ්‍යය වෙනුවෙන් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS