ටියුනීසියා ජනපති පාර්ලිමේන්තුව අත්හිටුවයි



ටියුනීසියා අග්‍රාමාත්‍ය හිචාම් මිචීචී ධුරයෙන් ඉවත් කරමින්, පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ටියුනීසියා ජනාධිපති කායිස් සායීද් කටයුතු කර තිබේ.

අරාබි වසන්තයෙන් පසු, ජනතාවට නිදහසේ ජීවත් වීමටත් යහපාලනයක් ඇති කිරීමටත් නව ව්‍යවස්ථාවක් සකස් කෙරුණි. ඒ, 2014 වසරේදීය. ඒ අනුව, ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තුව අතරේ බලය බෙදා ගැනීමක් සිදුවිය. කෙසේ නමුත්, ටියුනීසියා වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හෝ ඔවුන් අපේක්ෂා කළ යටපාලනය ඇති කිරීමට හෝ නව ව්‍යවස්ථාවට හැකියාවක් නොලැබුණි.

රට දිනෙන් දින ආර්ථික අර්බුදයකට ලක්වුණු අතර, මූල්‍යමය වශයෙන් කඩා වැටීමක් පෙන්නුම් කළේය. 'කොවිඩ් 19' වසංගතය හමුවේ මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති අතර, ටියුනීසියා වැසියෝ බොහෝ දෙනෙක් රැකියා නොමැතිව පීඩාවට පත් වී සිටිති.

ටියුනීසියා අග්‍රාමාත්‍ය හිචාම් මිචීචී ප්‍රමුඛ රජයට 'කොවිඩ් 19' වසංගතය පාලනය කිරීමටත්, ආර්ථිකය නිසි ලෙස කළමණාකරනය කිරීමටත් නොහැකි බව පෙන්වා දෙමින් පසුගිය මාස කිහිපය පුරා රටේ විරෝධතා හටගත්තේය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ටියුනීසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රය ද මුළුමනින්ම කඩා වැටීමකට ලක් විය.

විරෝධතා දිනෙන් දින උත්සන්න වෙද්දී, ජනාධිපති කායිස් සායීද් දිගින් දිගටම පවසන්න වූයේ තමන් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර වෙනත් සුදුස්සකු එම ධුරයට පත් කිරීමට කටයුතු කරන බවය. ඒ අනුව, ජනාධිපති කායිස් සායීද් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු කාවකාලිකව අත්හිටුවා දැමූ අතර සියලු විධායක බලතල තමන් අතට ගත්තේය.

ජනාධිපති සායීද් අග්‍රාමාත්‍ය මිචීචී ධුරයෙන් ඉවත් කිරීම සහ රජයේ කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය මෙන්ම විරෝධයක් ද එල්ල වී ඇත. පාර්ලිමේන්තු කතානායක රාචෙඩ් ගනොව්ච්චී ජනාධිපතිවරයාට දොස් නගමින් පවසා ඇත්තේ ඔහු ව්‍යවස්ථාව උල්ලංගනය කළ බවය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ටියුනීසියානු වැසියන් වැඩි දෙනකු සතුට පළ කරමින්, වීදි බැස ප්‍රීතිඝෝෂා නගන්න වූ බව ද අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS