ඉස්තාන්බුල් පිපිරුමෙන් 8 ක් මරුට: 81 ක් රෝහලේ



තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය පවසයි.

තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වර බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇති අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසුවේ, එය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවය.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ඉන්දුනීසියාවේ පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වීමට පිටත්ව යෑමට සූදානම් වී මාධ්‍යවේදීන් අමතමිනි.

බෝම්බය පුපුරා ගියේ ඉස්තාන්බුල් නුවර, බෙයොග්ලූ දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්තිකාල් වීදියේය. ඉස්තාන්බුල් යනු තුර්කියේ විශාලතම නගරයයි. මෙය සංචාරක ආකර්ශනයකි.

ඉස්තිකාල් වීදීය ද විදේශිකයන් අතරේ ඉතා ප්‍රකටය. ප්‍රණීත ආහාර අලෙවි සැල්, හෝටල්, අලංකාර වෙළෙඳ සැල් වීදිය දෙපස පිරී ඇති අතර, ‘ට්‍රෑම් කාර්’ වීදි සංචාරය කරයි. බෝම්බ පිපිරීම සිදුවූයේ ඊයේ (13) ඉස්තාන්බුල් වේලාවෙන් සවස 4.20 ට පමණය. එම අවස්ථාවේදී ද ඉස්තිකාල් වීදිය ජනතාවගෙන් පිරී තිබුණි.

බෝම්බ ප්‍රහාරය සිදුවුණු සැණින්, නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කළ අතර වෙළෙඳසැල් සහ අවන්හල් වසා දැමුණි. ට්‍රෑම් රථ ධාවනය ද අතිහිටුවිණි. විශේෂ විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ විය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මේ වනවිටත් අනාවරණය වී නැත. 2015 දීත්, ඉන්පසු 2017 දීත් මේ අයුරින් තුර්කියේ බෝම්බ පිපිරීම් සිදුවිය. එම ප්‍රහාරවල වගකීම අයි.එස්.අයි.එස්. හෙවත් අයි.එස්. සංවිධානය විසින් බාර ගනු ලැබුණි. කුර්දිස්තාන කම්කරු පක්ෂයේ සහාය ද අයි.එස්. සංවිධානයට හිමි වී තිබුණි.

කුර්දිස්තාන කම්කරු පක්ෂය, ත්‍රස්ත කල්ලියක් ලෙස තුර්කි රජය හඳුන්වයි. මෙම පක්ෂය සන්නද්ධ වී ඇත්තේ බෙදුම්වාදීන්ගෙනි. මොවුන් මෙන්ම අයි.එස්. සාමාජිකයන් ද ක්‍රියාත්මක වන්නේ අසල්වැසි සිරියාවේ සිටය. තුර්කි රජය, පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී තුර්කි සිරියා දේශසීමාවේ යුද මෙහෙයුම් සිදු කළේ මෙම කුර්දිස්තාන කම්කරු පක්ෂ සන්නද්ධ බෙදුම්වාදීන්ට එරෙහිවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS