ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැප වෙනවා



ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ගෙන්වා ගැනිමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කිරිමත් සමග ඇෆ්ගනිස්තානයේ සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට තමන් කැප වී කටයුතු කරන බව පාකිස්තානයත් තුර්කියත් ප්‍රතිඥා දී තිබේ.

ඇෆ්ගන් සාම සමුළුවක් තුර්තියේ පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. සමුළුව දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. සමුළුව ආරම්භ වන්නේ ලබන 24 වැනිදා සිටය.

ඇෆ්ගනිස්තානය, ඇමෙරිකාව, කටාරය, පාකිස්තානය නියෝජනය කරමින් නියෝජිතයන් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය. තලේබාන් සංවිධානයට ද සාම සමුළුවට ඇරැයුම් කර ඇති නමුත් ඔවුන් පවසා ඇත්තේ, ඇමෙරිකා සොල්දාදුවන් මුළුමනින්ම ඇෆ්ගනිස්තානයෙන් පිටවී යනතුරු තමන් කිසිදු සාම සමුළුවකට සහභාගී නොවන බවය.

ඇෆ්ගනිස්තානයේ සමීපතම අසල්වැසියා වන්නේ පාකිස්තානයයි. ඇෆ්ගන් තලේබාන්වරුන් සාම ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා පැවැත්වීම ඇමෙරිකාවේ පමණක් නොව, පාකිස්තානයේ මැදිහත් වීමෙන් ද සිදුවෙයි.

ඇෆ්ගන් සාම ක්‍රියාවලියට වෙනුවෙන් කැප වී කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම සාම සමුළුව වෙනුවෙන් සත්කාරකත්වය ලබා දෙන තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද පවසා ඇත.

ඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතරේ ඇති කරගත් සාම ගිවිසුම සම්බන්ධයෙන් තමන් පැහැදීමට පත්ව සිටින බවත්, ඊට පූර්ණ සහාය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගන් සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙන්ම ජනාධිපති එර්දොවාන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS