’ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2’ අරාබි රටවල තහනම්



සමලිංගික චරිතයක් සිටින බැවින් 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන් ද මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්' චිත්‍රපටය සෞදියේත් සෙසු අරාබි රටවලත් තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන් ද මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්' යනු 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ්' චිත්‍රපට මාලාවේ දෙවැන්න වන අතර ජනප්‍රිය නළු බෙනඩික් කම්බර්බැච් ඩොක්ටර් ස්ටීපන් ස්ට්‍රේන්ජ් ලෙස සිය රංගනය ඉදිරිපත් කරයි.

සෑම් රෙමීගේ අධ්‍යක්ෂණයන් හැඩවුණු මාවල් ස්ටුඩියෝස් නවතම චිත්‍රපටය වන්නේ 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන් ද මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්' වන අතර, චිත්‍රපටය ලබන මැයි 6 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතය. චිත්‍රපටය සෞදියේ තිරගත වීමට නියමිතව තිබුණේ ලබන පස් වැනිදා සිටය.

චිත්‍රපටයේ 'ඇමෙරිකා චාවේස්' නමැති මාවල් සුපිරි වීරවරිය ද සිටී. ඇමෙරිකා චාවේස් යනු මාවල් චරිත අතර සිටින සමලිංගික තරුණියකි. 'ඇමෙරිකා චාවේස්'ගේ චරිතයට පණ පොවන්නේ සොසිටිල් ගෝමේස්ය. සුපිරි බලයක් ඇති සමාන්තර ලෝක හරහා ගමන් කළ හැකි 'ඇමෙරිකා චාවේස්'ගේ චරිතය මාවල් චිත්‍රපටයක දකින්න ලැබෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

සෞදිය ඇතුළු අරාබි රටවල් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටි අතර, කල්වේලා ඇතිය ප්‍රවේශපත් නිකුත් කිරීමට ද ආරම්භ කර තිබුණි. කෙසේ නමුත් සමලිංගික චරිතයක් ඇති බැවින් එය අවලංගු වුණු අතර චිත්‍රපටය ප්‍රදර්ශනය කළ නොහැකි බව ද සෞදිය ඇතුළු එම රටවල් නිවේදනය කර තිබේ. සෞදිය ගත් තීරණය මාවල් සහ මාවල් සමාගම අයත් ඩිස්නි චිත්‍රපට සමාගමට විශාල පාඩුවක් වනු ඇතැයි සිනමා විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සෙසු අරාබි රටවල තහනම් කෙරුණත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන් ද මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්' ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS