සෞදි ගගනගාමීහු දෙදෙනෙක් අභ්‍යවකාශයට



‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ සමාගමේ තවත් පෞද්ගලික ගගන සංචාරයක් පසුගිය දා ආරම්භ විය. එම ගගන සංචාරයට සෞදි ගගනගාමීහු දෙදෙනෙක් ද එක් වූහ.

ඔවුහු දෙදෙනා පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. පෞද්ගලික ගගන සංචාරයක් යටතේ සෞදි ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය පළමු අවස්ථාව මෙයයි.

‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ අභ්‍යවකාශ සමාගමය. ‘ස්පේස් එකස්’ සමාගම ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී කටයුතු කරයි.

අතමිටසරු ඕනෑම අයකුට ස්පේස් එක්ස් සමාගම සමඟ එක් වී අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් දින කීපයක් එහි රැඳී සිට ආපසු පැමිණිය හැකිය.

අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය සෞදි ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයකු කාන්තාවකි. රෙයියානා බර්නාවී නමැති ඇය පියයුරු පිළිකා සම්බන්ධයෙන් පර්යේෂණ කරන පර්යේෂිකාවකි. අනෙක් සෞදි ජාතිකයා අලී අල් කාර්නීය. ඔහු සෞදි ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවෙකි. මේ දෙදෙනා වෙනුවෙන් මුදල් ගෙවා ඇත්තේ සෞදි රජයයි.

ඊට අමතරව ඇමෙරිකන් නාසා ආයතනයේ හිටපු ගගනගාමිනියක වන පෙගී විට්සන් ද මෙම ගමනට එක් වූවාය. ගගන සංචාරයේ නියමුවා ලෙස කටයුතු කළේ ජෝන් ෂොෆ්නර්ය.

ස්පේස් එක්ස් සමාගම ගගනගාමීන් උඩු ගුවනට රැගෙන යෑම සිදු කරන්නේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ආධාරයෙනි. මෙම රොකට්ටුවට ‘ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලය සම්බන්ධ කෙරේ. ගගනගාමීන් ගමන් කරන්නේ මෙම කැප්සියුලයේය.

රොකට්ටුවෙන් මිදී කැප්සියුලය අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වෙයි. ගගනගාමීන් සිවුදෙනා ආපසු පෘථිවියට පැමිණෙන්නේ ද මෙම කැප්සියුලයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS