සිරියාවේ අල් කයිඩා නායකයා මරා දැමේ



සිරියාවේ අල් කයිඩා නායක අබ්දුල් හමීද් අල් මටාර් ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකා හමුදාව කියයි.

දිනෙන් දින දුර්වල වෙමින් පවතින අල් කයිඩා සංවිධානයට ශක්තියක් වූයේ අබ්දුල් හමීද් අල් මටාර් බවත්, ඔහු මරා දැමීමට හැකිවීම අල් කයිඩා සංවිධානය අඩපණ කිරීමට හේතුවක් බවත් ඇමෙරිකන් හමුදා මේජර් ජෝන් රිග්ස්බී මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක සදහන් වෙයි.

අබ්දුල් හමීද් අල් මටාර් ලොව පුරා ඇමෙරිකානුවන්ට තර්ජනයක් වු තැනැත්තකු බවත්, ඔහු ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සැලැසුම් කළ අයකු බවත් සිවිල් වැසියන් භීතියට පත් කළ බිහිසුණු ත්‍රස්තයකු බවත් මේජර් ජෝන් රිග්ස්බී නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

මීට දින කීපයකට පෙර දකුණුදිග සිරියාවේ ඇමෙරිකන් හමුදා මුරපොළකට ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළේ අබ්දුල් හමීද් අල් මටාර් අනුදැනුම යටතේ යැයි බුද්ධි අංශ සොයා ගන්නා ලදී.

ඉන්පසු ලැබුණු තොරතුරු පාදක කර ගනිමින් ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන මෙහෙයුමකින් අබ්දුල් හමීද් අල් මටාර් මරා දැමීම සිදුකර ඇත.

අබ්දුල් හමීද් අල් මටාර් සැගවී සිට ඇත්තේ ඉඩ්ලිබ් පළාතේ ස්ථානයකය. සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ ක්‍රියාකාරීහු මෙම පළාතටත් ඊට යාබද ඇලැප්පෝ ප්‍රාන්තයටත් සීමා වී සිටිති.

අල් කයිඩා සංවිධානය සිරියාවේ ක්‍රියාත්මක වන්නේ හයාත් තහ්රීර් අල් ෂාම් ත්‍රස්ත කල්ලිය සමග එක් වෙමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS