සිරියානු ජනාධිපති එමිරේට්ස් රාජ්‍යයේ



සිරියානු ජනාපධිති බෂාර් අල් අසාද් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල සංචාරයක නියැලෙයි. 2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු සිරියානු ජනාධිපතිවරයා අරාබි රාජ්‍යයක නිල සංචාරයකට එක් වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ඩුබායි පැමිණි ජනාධිපති අසාද් උණුසුම් ලෙස පිළිගැනීමට ඩුබායි පාලක මෙන්ම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාත් උප ජනාධිපතිවරයාත් වන ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් කටයුතු කළේය.

සිරියානු ජනාධිපති අසාද් සහ එමිරේට්ස් රාජ්‍යයේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් කුමරුන් ද හමුවී සාකච්ඡා පැවැත්වීය. සිරියාවේ පමණක් නොව මුළු අරාබි කලාපයේම සාමය සහ ස්ථාවරත්වය තම එකම අපේක්ෂාව යැයි සිරියානු ජනාධිපතිවරයා එම හමුවේ දී අවධාරණය කළේය.

දිගු කාලයක් තිස්සේ ධුරයේ රැඳී සිටින අසාද් බලයෙන් නෙරපා දැමීමට සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ ගැනීමත්, ඔවුන්ට ඇමෙරිකාව සහ ප්‍රංශය අවි ආයුධ දීමත් සමඟ සිරියානු සිවිල් යුද්ධය ආරම්භ විය. විපක්ෂයට ලබා දුන් බටහිර අවි ආයුධවලින් ශක්තිමත් වී අයි.එස්. නමැති ත්‍රස්ත කල්ලිය බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට පත් වූයේ ද සිරියානු යුද්ධය අතරතුරේය.

එම යුද්ධයේ දී රුසියාව සහ ඉරානය සහාය දැක්වූ බැවින් තවදුරටත් බලයේ රැඳී සිමටීට අසාද් ට හැකියාව ලැබුණි.

සිරියාව අරාබි ලීගයේ සාමාජිකයකු වී සිටියේය. අරාබි ලීගය යනු අරාබි මුස්ලිම් රටවල් 22 කින් සමන්විත සන්ධානයයි.  සිරියාවේ යුද ගැටුම් හේතුවෙන්, සිරියාව අරාබි ලීගයෙන් නෙරපා දැමීමට ද කටයුතු කෙරුණි. තවමත් අරාබි ලීගයට සිරියාව ඇතුළත් වන්නේ නැත.

සිරියානු යුද්ධය හේතුවෙන් එරට ජනගහනයෙන් හරි අඩකට උන්හිටිතැන් අහිමි විය. දහස් ගණනකට ජීවිත අහිමි විය. නිවාසවලටත් නගරවලටත් සිදුවුණු හානිය අතිමහත්ය. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් දස දහස් ගණනක් වැයවනු ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS