ස්වීඩනය-ෆින්ලන්තය-තුර්කිය අතරේ සාකච්ඡා දිගටම



රුසියාවට තර්ජනයක් වන ආකාරයට, ෆින්ලන්තය සහ ස්වීඩනය යන ‘නෝර්ඩික්’ කලාපීය රාජ්‍යයන් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීම සම්බන්ධයෙන් එම රටවල් සහ තුර්කිය අතරේ ඒ සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා පැවැත්වෙයි.

ෆින්ලන්තය සහ ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලීම හරහා දැනට ආරම්භ වී ඇති රුසියන් යුක්රේන යුද්ධය තව තවත් ඔඩුදුවනු ඇති බවත්, යුරෝපයේ මහා අර්බුද රැසක් නිර්මාණය වනු ඇති බවත් තුර්කිය දිගින් දිගටම පෙන්වා දී තිබේ.

බටහිර සහ යුරෝපා රටවල් එක් වී, ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින්ය. තුර්කිය ද ‘නේටෝ’ සාමාජික රාජ්‍යයකි. එසේ වුවත්, තුර්කිය, රුසියාවට හිතවාදීව කටයුතු කරයි.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වනතුරු ෆින්ලන්තය සහ ස්වීඩනය නිර්පාක්ෂිකව කටයුතු කළ නමුත්, යුද්ධය ඔඩුදුවද්දී එම රටවල් තීරණය කළේ තමන් ද ‘නේටෝ’ සාමාජිකයන් විය යුතු බවය. ස්වීඩනය මෙන් නොව, ෆින්ලන්තය රුසියාවට මායිම්ව පිහිටයි.

ෆින්ලන්තය සහ ස්වීඩනය, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමෙන් සිදුවන්නේ පවතින අර්බුද තවත් උත්සන්න වනු ඇති බව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් දිගින් දිගටම පෙන්වා දී තිබේ. ස්වීඩන, ෆින්ලන්ත, තුර්කි නියෝජිතයන් අතරේ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන්නේ මේ නිසාය.

(රොයිටර්)


RECOMMEND POSTS