සම්බාධක ඉවත් කළොත් සාකච්ඡාවට එනවා



පනවා ඇති සම්බාධක ඉවත් කළොත් පමණක්, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ යුරෝපා රටවල් සමඟ සාකච්ඡා පවත්වන බව ඉරානය පවසයි.

ඇමෙරිකාවේ ඔබාමා පරිපාලනය මැදිහත් වී, 2015 වසරේ දී, ඉරානයේ ආන්දෝලනාත්මක න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැණින.

ජර්මනිය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා සංගමය ද එහි හවුල් කරුවන් විය. ඔබාමා ජනපති ධුරය හොබවද්දී, එරට උප ජනාධිපති ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ය.

ඔබාමාගෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඉරානයට විරෝධය දක්වමින් 2015 න්‍යෂ්ටික එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ඒ සමඟම, 2015 ට පෙර ඇමෙරිකාව ඉරානයට පනවා තිබූ සම්බාධක යළි පැනැවීමට කටයුතු කළේය.

ජෝ බයිඩන් සහ සෙසු යුරෝපා රටවල් යළිත්, 2015 දී මෙන්, ඉරාන ය සමඟ එකඟතාවක් ඇති කර ගැනීමට සූදානමින් සිටී. එසේ පැවැත්වෙන සාකච්ඡා සඳහා තමන් සහභාගී වන්නේ නම්, ඊට ප්‍රථමයෙන් පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු යැයි ඉරාන රජය වෙනුවෙන් දන්වා සිටියේ එරට විදේශ කටයුතු අමත්‍යාශ ප්‍රකාශක සයීඩ් කතිබ්සාදේය.

තෙහෙරාන්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS