ලෙබනන් අගමැති අස්වෙයි



දිනෙන් දින උත්සන්න වූ ජනතා විරෝධය හමුවේ, ඉල්ලා අස්වීමට තීරණය කළ බව ලෙබනන් අගමැති සාද් හරීරි නිවේදනය කළේය. ඒ සමඟ දින ගණනාවක් තිස්සේ වීදි බැස විරෝධතා දක්වන්න වූ ලෙබනන් වැසියෝ ප්‍රීතිඝෝෂා කරන්න වූහ.

ලෙබනනය දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී සිටී. තමන් පීඩාවට පත්ව සිටිද්දී මැති ඇමැතිවරුන් සුඛෝපබෝගී ජීවිත ගත කරනවා යැයි ලෙබනන් වැසියන් රජයට චෝදනා නගන්න විය. ලෙබනනය පුරා විරෝධතා හටගත්තේ ඒ අනුවය. විරෝධතා සංවිධානය කළේ හිස්බුල්ලා සහ සහ අමාල් පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් යැයි පැවැසිණි.

දීපව්‍යාප්තව පැවැත්වුණු විරෝධතා හේතුවෙන් ලෙබනනයේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ලෙබනන් රජය පොලිසිය සහ හමුදාව යෙදවිණි. ඒ අනුව ගැටුම්කාරී තත්ත්වයක් ද නිර්මාණය විය.

ඉකුත් සතියේ, බේරුට් අගනුවරට නුදුරින් ජාල් එල් බිද් පාලම විරෝධතාකරුවන් විසින් හරස් කළ අවස්ථාවේදී. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් කෝපයට පත් වී රජයේ ගොඩනැගිලිවලට අලාභහානි සිදු කරන්න විය. එහිදී හටගත් ගැටුම් හේතුවෙන්, විරෝධතාකරුවෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ. 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
විරෝධතා උත්සන්න වෙද්දී, නව ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දෙමින්, රට පුහුණ පා සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමටත්, මැතිඇමැතිවරුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කිරීමටත් වහා පියවර ගන්නා අගමැති සාද් අල් හරීරී පැවැසූ නමුත් විරෝධතාකරුවෝ ඊට කන් නොදුන්හ.

අගමැතිවරයා විරෝධතාකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වුවත් එම සාකච්ඡා ද අසාර්ථක විය. ඒ අනුව අවසානයේදී රජය විසුරුවා හරිමින් ඉල්ලා අස්වීමට අගමැති හාරිට සිදුවුණු බව ලෙබනන් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

බීරූර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS