යළිත් පාර්ලිමේන්තුවට කඩා වදිති



ෂියා මුස්ලිම් ආගමික නායකයකු මෙන්ම දේශපාලන නායකයකු ද වන මුක්ටාඩා අල් සදාර්ගේ ආධාරකරුවන් සිය ගණනක් අද (30) යළිත් වරක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කර ගත්හ.

විරෝධතාකරුවන් අද (30) යළි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන මුස්තාෆා අල් කදීමි, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුක්ටාඩා අල් සදාර්ගේ ප්‍රතිවාදියකු වන මොහොමද් ෂියා අල් සුදානී පත් කරාවි යැයි සැකයක් ඇති වූ බැවිනි.
භාරකාර අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමි, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මොහොමද් ෂියා අල් සුදානී සුදුසු යැයි පවසමින්, අල් සුදානීගේ නම යෝජනා කළේ පසුගිය 28 වැනිදාය.

මුක්ටාඩා අල් සදාර් ඊට අප්‍රසාදය පළ කළ සැණින් ඔහුගේ ආධාරකරුවෝ සිය ගණනක් බැග්ඩෑඩ් අගනුවර අධි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන 'හරිත කලාපයේ' (ග්‍රීන්සෝන්) පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණි. ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද එයින් පලක් නොවිණි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මොහොමද් ෂියා අල් සුදානීගේ නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද (30) ට යෙදී තිබුණි. 28 වැනිදා පැවැති විරෝධය සැලකිල්ලට ගනිමින්, අද (30) පාර්ලිමේන්තුව රැස් වූයේ නැත. එසේ වුවත් රහසේ පාර්ලිමේන්තුව රැස් වනු ඇතැයි සැක කළ විරෝධතාකරැවන් දෙවැනි වරටත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණේ ඒ අනුවය.

මොහොමද් ෂියා අල් සුදානී හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම, ප්‍රදේශීය ආණ්ඩුකාරවරයකු ලෙස සේවය කළ අයෙකි. මොහු දැඩි ඉරාන හිතවාදියෙකු ලෙස සැලකෙයි. ඉරානයෙන් අල් සුදානී ට අනුග්‍රහය ද හිමිවෙයි. මුක්ටාඩා අල් සදාර් යනු ඉරාකයේ ප්‍රබලතම චරිතයකි. පසුගිය 2021 වසරේ ඉරාක මහ මැතිවරණය පැවැති අතර වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ඉදිරියට ආවේ මුක්ටාඩා අල් සදාර්ගේ දේශපාලන කණ්ඩායමය.

කෙසේ නමුත් බහුතර බලය ඔවුන්ට හිමි නොවුණු අතර, රජයක් පිහිටුවා ගැනීමට මුක්ටාඩා අල් සදාර් ට නොහැකි විය. අල් සදාර් අවශ්‍ය වී ඇත්තේ ෂියා, සුන්නි සහ කුර්දි වැසියන් එක් කර ගනිමින් ඉරාකයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටය. කෙසේ නමුත් එය අසාර්ථක විය. ඒ අනුව ඉරාක දේශපාලන අර්බුදයක් නිර්මාණය වූ අතර නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගන්නා තුරු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මුස්තාෆා අල් කදීමිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS