මහම්මත්තුමාට අපහාස කළැයි චෝදනා



මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස්  ප්‍රකාශ කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකුට ජාත්‍යන්තර මට්ටමින් චෝදනා එල්ල වී තිබේ.

සෞදි අරාබියත් කටාර් රාජ්‍යයත් මෙම  සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජයට අප්‍රසාදය පළ කර තිබේ.

භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිනවාදී පක්ෂයකි. මහම්මත්තුමාට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර්ය. මොවුන් මහම්මත්තුමන්ට අපහාස වන ආකාරයට මෙසේ අදහස් දැක්වීම් කර ඇත්තේ ඉන්දීය රූපවාහිනී වැඩසටහනකදීය.

ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, මොවුන් දෙදෙනා මොවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ද භාරතීය ජනතා පක්ෂය පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (5) වාර්තා කළේය.

සෞදිය සහ කටාර් රාජ්‍යයට අමතරව, කුවේටය, ඉරානය එම රටවල ඉන්දීය තානාපතිවරුන් කැඳවා එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව ද වාර්තා වේ.

කටාර් රාජ්‍යය ඉන්දීය රජයට දන්වා ඇත්තේ මහම්මත්තුමාට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ප්‍රසිද්ධියේ සමාව ඉලලීමක් කළ යුතුය යන්නය. මීට අමතරව කුවේටය, ඉරානය සහ කටාර් රාජ්‍යය වැඩි දුරටත් පවසා ඇත්තේ ඉන්දියාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වර්ජනය කළ යුතු බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS