මට අම්මා ඕනෑ



තුර්කිය කැලඹූ භූමිකම්පාවෙන්, බිමට සමතලා වූ නිවසක සුන්බුන්අතරේ, පැය 96 ක් එනම් දින 4ක් තිස්සේ සිර වී සිටි තෙහැවිරිදි දැරියක බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීහු සමත් වූහ.

බේරාගත් දැරිය අයිද්යා ගෙස්ගන් බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි. භූමි කම්පාව හටගෙන නිවස බිමට සමතලා වෙද්දී, දැරිය සහ ඇගේ මව සිට ඇත්තේ නිවසේ මුළුතැන්ගෙන තුළය‍.

සුන්බුන් හිසමත පතිත වෙද්දී, දැරිය පිඟන් සෝදන සින් එක යටට රිංගා සිටි අතර එයින් ඇයට ආරක්ෂාවක් ලැබී තිබේ. සහන සේවකයන්, ඉව අල්ලන සුනඛයන් සුන්බුන් සෝදිසි කරද්දී, දැරිය කෑ ගසන හඩ අසන්න ලැබී තිබේ.

සුන්බුන් අතරේ දැරිය සිරවී සිටි අයුරු ...

ඉන්පසු සෙමින් සුබුන් ඉවත් කරමින්, මහත් පරිශ්‍රමයක් දරා බේරාගත් දැරිය කඩිනමින් රෝහල්ගත කෙරුණි. හඩමින් සිටි දැරිය පවසා ඇත්තේ ‘මට අම්මා ඕනෑ’ යන්න පමණි. සහන සේවකයන්ට සුන්බුන් ඉවත් කරද්දී, දැරිය සිටි තැනට මදක් දුරින් දැරියගේ මවගේ මළ සිරුර සොයා ගැනීමට හැකිවිණි.

රෝහල්ගත කිරීමෙන් පසු ...

භූමි කම්පාව හටගත්තේ මීට සිවු දිනකට පෙර පසුගිය ඔක්තෝබර් 30 වැනිදාය. තුර්කියට ඔබ්බෙන් ඒගන් මුහුදු පතුළේ හටගත් එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7 ක් සටහන් කළේය.

භූමි කම්පාවෙන් බටහිර තුර්කියේ ඉස්මූර් නගරය සහ ග්‍රීසියට අයත් සාමෝස් නමැති දූපත කැලඹිණි.

ඉස්මූර් නගරයේ නිවාස සහ ගොඩනැගිලි මුළුමනින්ම බිමට සමතලා වූයේ 111 දෙනකුට මරු කැඳවමිනි. තුවාල ලැබූ ගණන 1,035 ක් යැයි පැවැසෙයි.

ඩේලිමේල් සහ තුර්කි පුවත් සේවා


RECOMMEND POSTS