බ්‍රිතාන්‍යයේ සොෆී කුමරිය බැග්ඩෑඩ් අගනුවර සංචාරයක



බ්‍රිතාන්‍යයේ සොෆී කුමරිය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ගොස්, ඉරාක දේශපාලනඥයන් සහ කාන්තා ක්‍රියාකාරීන් හමුවූවාය.

ඉරාකය යනු යුද ගැටුම්වලින් හෙම්බත් වූ රාජ්‍යයකි. ඉරාක කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් සහ කුඩා දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපරාධ සම්බන්ධයෙන් 58 හැවිරිදි
සොෆී කුමරිය දේශපාලනඥයන් සහ කාන්තා ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූවාය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක මෙසේ බැග්බෑඩ් අගනුවරට පැමිණියේ 2006 වසරෙන් පසුවය. 2006 වසරේ බැග්ඩෑඩ් පැමිණියේ පිලිප් කුමරුන්ය. ඒ, ඉරාකය ආක්‍රමණයෙන් පසු බැග්ඩෑඩයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමටය.

එඩින්බර්ග් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන සොෆී කුමරිය විවාහ වී සිටින්නේ එඩින්බර්ග් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන එඩ්වඩ් කුමරු සමඟය. එඞ්වඞ් කුමරු යනු තෙවැනි චාල්ස් රජුගේ බාල සොහොයුරාය.

බැග්ඩෑඩ් සංචාරයේදී සොෆී කුමරිය ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානි හමුවී සාකච්ඡා පැවැත්වූවාය. බැග්ඩෑඩ් අගනුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ දී ඇය කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් දේශනයක් ද පැවැත්වූවාය.

(රොයිටර්)


RECOMMEND POSTS