බහරේනයේ ආහාර සහ වෙළඳ ප්‍රදර්ශනයක්



බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාලය වන “ලුලූ” (Lulu) සමූහ ජාලය හා එක්ව  ශ්‍රී ලාංකා වෙළඳ ආහාර සහ සංස්කෘතික  වෙළද ප්‍රදර්ශනයක් සංවිධානය කළේය.

මෙම වෙළද ප්‍රදර්ශනය පශ්චාත් කොවිඩ්-19 තත්වයක් තුල ශ්‍රී ලංකා වෙළඳ හා සංචාරක ප්‍රවර්ධනය දිරිමත් කිරීම වෙනුවෙන් සිදු කළ බව  සදහා බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලය කියා සිටී.

සැප්තැම්බර් මස 29 දින සිට අද (3) දින දක්වා , බහරේන් රාජ්‍යය පුරා විහිදී ඇති ලුලූ වෙළඳසැල් සමූහය තුළ අති උත්කර්ශවත් ආකාරයෙන් මෙම ලාංකික සැණකෙළිය පැවැත්විණි.

ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයේ ආරම්භක උළෙල සදහා බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රදීපා සේරම් මහත්මිය සමග බහරේන් වාණිජ මණ්ඩලයේ අන්තර්ජාතික වෙළඳ කටයුතු පිළිබඳ විශේෂඥ, ෆහාඩ් ෆයිසාල් අල් අයිනාටි මහතා, ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ එළවළු, පළතුරු, රසකැවිලි වර්ග, විවිධ වර්ගයේ සහල්, ශ්‍රී ලාංකික සන්නාමය සහිත විවිධ රසැති තේ වර්ග, අලුතෙන් හඳුන්වාදුන් පොල් ආශ්‍රිත නිෂ්පාදන (පොල් තෙල්, පොල්කිරි, තැඹිලි වතුර), මත්ස්‍ය නිෂ්පාදන ආදී වූ විවිධ වර්ගයේ ශ්‍රී ලාංකික ආහාර වර්ග අලෙවි කෙරිණි.

මීට අමතරව ප්‍රදර්ශන දින 5 පුරාවටම ශ්‍රී ලාංකික සූපවේදීන් විසින් සජීවී ආහාර පිසුම් අංගයන් ඉදිරිපත් කළ  අතර ශ්‍රී ලාංකික රස මසවුලු වල රස විඳීමට නරබන්නන් හට අවස්ථාව සලසා දෙන ලදී. තවද,බහරේන් හි වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුලත් වෙළඳ කුටි සමූහයක් මෙන්ම ශ්‍රී ලාංකික නර්තන අංගයන්ගෙන්ද මෙම ප්‍රදර්ශනය සමන්විත විණි.

මෙම ආහාර ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සහනදායී මිල ගණන් යටතේ ගුවන් ටිකට් පත් අලෙවි කරනු ලබන අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද, කොළඹ වරාය නගරය ආශ්‍රිත ආයෝජන අවස්ථා ඇතුලත් වීඩියෝ පට ප්‍රචාරණය කළේය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS