පුටින් සමාව ඉල්ලයි



යුදෙව්වන් ලක්ෂ ගණනින් ඝාතනය කිරීමට අණ දුන් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට තිබුණේ යුදෙව් ලේ යැයි රුසියන් විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ඊශ්‍රායලයෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, විදේශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලා ඇත.

විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, ඒ ගැන සමාව ඉල්ලමින් රුසියන් ජනාධිපති පුටින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට තිබුණේ යුදෙව් ලේ යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසුවේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය සාධාරණීයකරණය කරමිණි. යුක්රේනයේ ද 'නාසිවාදය' ක්‍රියාත්මක වෙන බවත්, රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ ඒ නිසා බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අවස්ථා කීපයකදී පවසා තිබේ.

යුක්රේනයේ 'නාසිවාදය' යනුවෙන් අදහස් කරන්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය ජාතිකවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ යුක්රේනයේ රුසියන් හිතවාදීන් සහ රුසියන් සම්භවයක් ඇති වැසියන්ට කෙණෙහිලිකම් කිරීමය.

යුක්රේන ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුදෙව් ජාතිකයෙකි. ඔහුට ඇත්තේ යුදෙව් ලේ ය. නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට යුදෙව් ලේ තිබුණැයි යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසුවේ සෙලෙන්ස්කී යුදෙව්වකු බව පෙන්වා දෙමිනි.

කෙසේ නමුත් රුසියන් විදේශ අමාත්‍යවරවයාගේ එම ප්‍රකාශය ඊශ්‍රායලයේ පමණක් නොව ලොව බොහෝ දෙනාගේ උදහසට ලක් විය. ඒ, එහි අර්ථය හරිහැටි වටහා ගැනීමට නොහැකි වුණු බැවිනි. විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් එම අදහස් දැක්වීම කළේ ඉතාලි රූපවාහිනී නාළිකාවක් සමඟය.

ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයෙන් රුසියන් විදේශ අමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල වූයේ ඉන් අනතුරුවය. දෙවැනි ලෝක යුද්ධයේ දි හිට්ලර්ගේ නාසි හමුදා අතින් ඝාතනයට ලක් වුණු යුදෙව්වන් ගණන මිලියන 6 කට වැඩිය.

විදේශ අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය මුල්කොට ගනිමින් වහා සමාව ඉල්ලීමක් කරන්නැයි  ඊශ්‍රායලය රුසියාවට බල කරන්න විය. රුසියන් ජනාධිපති පුටින් ඊශ්‍රායල ජනාධිපතිවරයාට දුරකතන ඇමැතුමක් ලබා දුන්නේ එ් අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS