පාප්තුමන් බහරේන සංචාරයක් අරඹයි



දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බහරේනයට සැපත් විය. පර්සියානු ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යයක් වන බහරේනයට, පාප්තුමකු පැමිණි පළමු අවස්ථාව මෙය යැයි වතිකානය කියයි.

බහරේනයේ වැඩි දෙනා ෂියා මුස්ලිම්ය. මිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන බහරේනයේ සිටින කතෝලිකයන් ගණන 1,61,000 ක් යැයි වතිකාන වාර්තාවල දැක්වෙයි.

ඔවුන්ගෙන් වැඩිදෙනා ආසියානු රටවලින් බහරේනයට සංක්‍රමණය වූ පිරිස් ය. එයින් ද වැඩිදෙනා ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන් පැමිණි සංක්‍රමණිකයන් බව වතිකාන වාර්තාවල වැඩි දුරටත් සඳහන් වී ඇත.

බහරේනයට පැමිණි පාප්තුමන් පළමුවෙන්ම කළේ බහරේන රජු හමාද් බින් ඊසා අල් කලිෆා හමුවී සාකච්ඡා පැවැත්වීමය. බහරේන රජුගෙන් සහ එරට රජයෙන් 85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.  මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් බහරේන රජයට චෝදනා එල්ල වී ඇති අතර, පාප්තුමන් බහරේන රජු හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් වතිකානයේ සිට බහරේනය බලා ආවේ දැඩි අපහසුවෙනි. තමන් පාදවල වේදනාවෙන් පෙළෙන බව  පාප්තුමන් ඔහු සමඟ බහරේනයට ආ මධ්‍යවේදීන්ට පවසා ඇත. බහරේනයේ දී පාප්තුමන් ගමන් කළේ රෝද පුටුවේ ආධාරයෙනි.

මෙය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ගල්ෆ් රාජ්‍යයකට පැමිණි දෙවැනි අවස්ථාවය. ෆ්‍රැන්සිස් පාප්තුමන් 2019 දී අබුඩාඩි බලා ගියේය. එය ඓතිහාසික සංචාරයක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS