පලස්තීන හමාස් ඉලක්කවලට දිගටම පහර දෙනවා



ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් දිගටයම ප්‍රහාර එල්ල කරන බවත්, ප්‍රහාර නැවැත්වීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ පැවැසුවේ, රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 'හමාස් ත්‍රස්තවාදීන්ට කිසිදු සමාවක් දීමට අදහසක් නැහැ. ඉදිරියේ දී ඊශ්‍රායල හමුදාව ඔවුන් සතු සම්පූර්ණ බලය භාවිතයට ගනිමින් ප්‍රහාර එල්ල කරාවි' යැයි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අතර ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පවසා ඇත්තේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බවත්, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල හමුදාවට අයිතියක් ඇති බවය.

කෙසේ නමුත් ගාසා තීරයේ කුඩා දරුවන් සහ කාන්තාවන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් බ්ලින්කන් පමණක් නොව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද කනස්සල්ල පළ කර ඇත.

ඊයේ (16) වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 200 ඉක්මවීය. ඔවුන්ගෙන් 58 දෙනකු කුඩා දරුවන් යැයි පැවැසෙයි.

ගතවුණු පැය 24 ඇතුළත ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 26 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේය. එසේ මියගිය පිරිස අතර එකම පවුලේ 7 දෙනකු සහ ගාසා තීරයේ කීර්තිමත් වෛද්‍යවරු දෙදෙනෙක් ද සිටිති.

එක් වෛද්‍යවරයකු වන්නේ  ගාසා තීරයේ අල් ෂීෆා රෝහලේ ප්‍රධානියා අයිමාන් අබු අග් ඕෆු ය. අනෙක් වෛද්‍යවරයා 66 හැවිරිදි අහ්මද් අල් අලූල් ය. ගාසා තීරයේ එකම ස්නායු වෛද්‍යවරයා වූයේ මොහුය. වෛද්‍ය අලූල් පමණක් නොව, ඔහුගේ 25 හැවිරිදි දියණිය ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට හසුවී ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

ගාසා තීරයේදීය (රොයිටර්)


RECOMMEND POSTS