තුර්කි ජනපතිට විපක්ෂයෙන් අභියෝගයක්



තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (14) පැවැත්වෙයි. තුර්කි මාධ්‍ය වාර්තා කළේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදෑසන 8 ට ආරම්භ වී සවස 5 ට අවසන් වනු ඇති බවය.

මිලියන 20 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බවත්, විදේශගත තුර්කි වැසියන් මිලියන 3.4 ක් පසුගිය මැයි 9 වැනිදා වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබුණු බවත් තුර්කි මාධ්‍ය වාර්තා කර කරයි. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වූයේ ආසන 600 ක් වෙනුවෙනි.

දශක දෙකක් තුර්කියට නායකත්වය දෙන රිජෙප් තායිප් එර්දොවාන් තව දුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙයි.

ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් ජනතා පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක 74 හැවිරිදි කෙමාල් කිල්කැඩෝර්ග්ලු, 69 හැවිරිදි එර්දොවාන්ට අභියෝගයක් වනු ඇතැයි තුර්කි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

කිල්කැඩෝර්ග්ලු ප්‍රතිඥා දී ඇත්තේ තමන් බලයට පත් වුවහොත් තුර්කි ජනාපධිතිවරයාට ලැබී ඇති අසීමිත බලතල කප්පාදු කරන බවත්, ශක්තිමත් පාර්ලිමේන්තු පද්ධතියක් සකස් කරන බවත්ය. මෙය තුර්කි වැසියන් බොහෝ දෙනකුගේ ප්‍රසාදයට හේතුවක් වී ඇත.

ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීමට නොහැකි වුවහොත්, වැඩි ඡන්ද හිමි කරගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේ ලබන මැයි 28 වැනිදා දෙවැනි වටයක් පැවැත්වෙනු ඇත.

එර්දොවාන් සහ කිල්කැඩෝර්ග්ලු සහභාගී වුණු අවසන් ජන රැලි පසුගිය සිකුරාදා දිනයේ පැවැත්විණි. එහිදී කිල්කැඩෝර්ග්ලු, රුසියාවට චෝදනා කළේය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. තුර්කිය ‘නේටෝ’ සාමාජිකයෙකි.

කිල්කැඩෝර්ග්ලු රුසියාවට චෝදනා කළේ, තුර්කි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට රුසියන් පරිගණක හැකර්වරුන් කටයුතු කරනු ඇතැයි පවසමිනි.

රුසියන් හැකර්වරුන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කරමින් එර්දොවාන් සහ ඔහුගේ ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂය වැඩි වාසි අත්කර දෙනු ඇතැයි කිල්කැඩෝර්ග්ලු එම අවස්ථාවේදී පැහැදිලි කළේය.

මේ අතර, විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකන බුද්ධි අංශ සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, තමන්ට බලය අහිමි කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි ජනාධිපති එර්දොවාන් චෝදනා නැගුවේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS