තවත් රැල්ලකට මුහුණ දෙන්න ඉරානය සූදානම්



තව මාසයක් පමණ ගතවෙද්දී තවත් කොරෝනා රැල්ලකට මුහුණ දීමට ඉරාන වැසියන්ට සිදුවනු ඇතැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශය අනතුරු අඟවා ඇත. එය ඉරානය මුහුණ දෙන සය වැනි කොරෝනා රැල්ල වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය බහ්රාම් ඉනොලාහායි පවසා තිබේ.

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූ දා පටන් මැදපෙරදිග කලාපයේ වයිරසයෙන් දරුණු ලෙස බැට කෑ රාජ්‍යය වන්නේ ඉරානයයි. ඉරානය මෙසේ 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකාව පනවා ඇති සම්බාධක මධ්‍යයේය.

එසේ වුවත් ඉරානය ඔවුන්ගේ දැනුම සහ තාක්ෂණය භාවිතයට ගනිමින් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් නිපදවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා නොමිලේ ලැබුණු මෙන්ම, ඉරානය ඉන්දියාවෙන්, චීනයෙන් සහ රුසියාවෙන් මිලදී ගත් එන්නත් ද එරට වැසියන්ට ලබා දීම සිදු කර ඇත. රටේ යළි ආසාදිතයන් සහ මරණ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ වේගතවත් එන්නත්කරණයක් සිදුවී අවසන් වෙද්දී යැයි සෞඛ්‍ය අමාත්‍ය බහ්රාම් ඉනොලාහායි පැහැදිලි කර තිබේ.

'කොවිඩ් 19' වයරසයට බිලිවුණු ඉරාන වැසියන් ගණන 1,25,000 කි. සමස්ත ආසාදියන් ගණන මිලියන 5.8 කි. ඉරානය 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන්නේ පසුගිය 2020 පෙබරවාරියේ සිටය. සෞඛ්‍ය අමාත්‍ය බහ්රාම් ඉනොලාහායි පෙන්වා දෙන අන්දමට ගතවුණු දින කීපය පුරාවට දෛනිකව නව ආසාදිතයන් 10,000 බැගින් වාර්තා වෙයි. ලබන මාසය වනවිට ඉරානය 6 වැනි කොරෝනා රැල්ලට මුහුණ දෙනු ඇතැයි අනතුරු ඇඟවීම් කර ඇත්තේ මේ නිසාය.

ඉරාන ජනගහනයෙන් සියයට 75 කට වඩා වැඩි පිරිසකට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇති අතර, නියමිත පරිදි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ගණන සියයට 25 ක් බව පැවැසෙයි. ඉරාන වැසියන්ට වැඩිපුර ලැබී ඇත්තේ චීනයේ 'සයිනෝෆාම්' සහ ඇස්ට්‍රාසෙනකා එන්නත්ය. ඉරානයේ ජනගහනය මිලියන 85 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS