තලේබාන් රජය හුදෙකලා කරන්න එපා



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වුණු කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ඇෆ්ගන් තලේබාන් සංවිධානය ගැන කරුණු පැහැදිලි කළේය.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී යද්දී, ඇෆ්ගනිස්තානයේ කොටු වුණු විදේශිකයන් සහ තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කළ ඇෆ්ගන් වැසියන් එරටින් ඉවත් කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි.

'ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවූ තලේබාන්වරුන් උත්සාහ ගන්නේ ලෝකයට සමීප වී, සෑම රටක් සමඟම යහපත් සබඳතා ඇති කර ගැනීමටයි. තලේබාන් නව රජය සමඟ සබඳතා පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බවත් ඔවුන්ට සම්බාධක පැනැවීම හෝ ඔවුන් හුදෙකලා කිරීම හෝ නොකළ යුතු බවත් කටාර් එමීර්වරයා සමුළුව අමතමින් පෙන්වා දුන්නේය.

මහා මණ්ඩල සැසියට සමගාමීව ඊට සහභාගී වුණු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ තුර්කි විදේශ ඇමැති මෙවුලුත් කවුසුගෝව්ලූ අතරේ සාකච්ඡා පැවැත්විණි. ඒ, ඇෆ්ගනිස්තානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙනි.

ඇෆ්ගනිස්තානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට එහිදී එකඟතාවක් ඇති කර ගැනුණි. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ආරක්ෂාව ලබා දීමට තුර්කිය කැමැත්ත පළ කර ඇත. තලේබාන් රජය ද තුර්කියේ සහාය ලබා ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. තුර්කිය නේටෝ සාමාජිකයෙකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS