ජනපති පුටින් ඉරාන සංචාරයකට සැරැසෙයි



යුක්රේනයට එරෙහිව යුද්ධය පැවැත්වෙන අතරතුරේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරානයේ සංචාරයකට සූදානම් වෙයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ඉරානයේ තෙහෙරාන් අගනුවරදී පැවැත්වීමට නියමිතය. රුසියන් ජනාධිපතිවරයා ඉරානය බලා යන්නේ එම හමුවට සහභාගීවීමටය.

සිරියානු අර්බුදයේ දී ප්‍රධාන පාර්ශ්වකරුවන් වන්නේ ඉරානය, රුසියාව සහ තුර්කියයි. ඉරානය සහ රුසියාව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයට සහාය දක්වයි. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි.

බටහිර හිතවාදී නේටෝ රාජ්‍යයක් ද වන තුර්කිය සහාය දක්වන්නේ නීත්‍යාණුකූලව පිළිගත් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. සිරියානු සිවිල් යුද්ධය අතරතුරේ නැගී සිටිමින් ලොවට තර්ජනයක් වුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය අඩපණ කිරීමට සිරියානු රජයට ඉරානයේ රුසියාවේ පමණක් නොව, තුර්කියේ ද සහාය හිමිවිය.

ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයකට අනුව රුසියන් ජනාධිපති පුටින් ඉරානය බලා යෑමට සූදානම් වන්නේ ලබන 19 වැනිදාය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියන් ජනාධිපති පුටින් විදේශ සංචාරයක නියැළෙන දෙවැනි අවස්ථාව වනු ඇත්තේ මෙයයි. පළමු විදෙස් සංචාරය වූයේ ටජිකිස්තාන සහ ටර්ක්මෙනිස්තාන සංචාරයයි. ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය මධ්‍යම ආසියාවට අයත් රුසියාව අසල පිහිටි රුසියාවට හිතවත් රාජ්‍යයන්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS