කටාරයේ පළමුවරට ව්‍යවස්ථාදායක මැතිවරණයක්



කටාර් රාජ්‍යයේ පළමු ව්‍යවස්ථාදායක මැතිවරණය අද (2) පැවැත්වෙයි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, කටාර් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් ගත් වැදගත් දේශපාලන තීන්දුවක් ලෙස මෙම මැතිවරණය ඉතිහාසගත වනු ඇති බවය.

ඡන්දය ප්‍රකාශ කිරීම කටාර් වේලාවෙන් අලුයම 5 ට ආරම්භ වී සවස 3 තෙක් පැවැත්වෙන බවත් ඉන්පසු ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන බවත් මැතිවරණ බලධාරීන් පවසා තිබේ.

කටාර් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ෂූරා කවුන්සිලය යන නමිනි. ආසන 45 කින් සමන්විත ෂූරා කවුන්සිලයට නියෝජිතයන් 30 දෙනකු තෝරා ගැනීම ජනතා ඡන්දයෙන් සිදුවන අතර, සෙසු ආසන 15 සඳහා නියෝජිතයන් පත් කිරීම සුපුරුදු පරිදි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ අභිමතය පරිදිය.

වයස අවුරුදු 18 ට වැඩි, කටාර් හි උපත ලැබූ වැසියන්ට ඡන්ද වරම් හිමිවී ඇති අතර, අවුරුදු 30 ට වැඩි කටාර් වැසියන්ට පමණක් ෂූරා කවුන්සිලයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

ඒ අනුව, 84 දෙනකු මැතිවරණයට ඉදිරිපත් වී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනා පිරිමින්ය. මැතිවරණයට ඉදිරිපත්වන කාන්තාවන් ගණන 30 කි. කටාරයේ මැතිවරණ දිස්ත්‍රික්ක 30 කට බෙදා ඇති අතර ඒ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් අපේක්ෂකයෙකු බැගින් තෝරා ගැනීම සිදුවිණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS