උඩු ගුවනට යන එමිරේටයේ පළමු ගගනගාමිනිය



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නියෝජනය කරමින් පළමු වරට කාන්තා ගගනගාමිනියක අභ්‍යවකාශයට යෑමට නියමිතය. එමිරේට්ස් රාජ්‍යයේ පළමු ගගනගාමිනිය ලෙස පුහුණුව ලබනු ඇත්තේ 27 හැවිරිදි නෝරා අල් මට්රූෂී නමැති තරුණියයි.

නෝරා අල් මට්රූෂී, එමිරේට්ස් යාන්ත්‍රික ඉන්ජිනේරුවරියකි. ඇය අබුඩාබි ජාතික පෙට්‍රෝලියම් ඉදිකිරීම් සමාගමේ රැකියාව කරන්නීය. 

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් පුහුණු කිරිමේ පාඨමාලාවට නෝරා අල් මට්රූෂී ඇතුළත් කර ඇති බවත්, මට්රූෂී ඇගේ පුහුණුවීම් සඳහා ඇමෙරිකාව බලා යනු ඇති බවත් එමිරේට්ස් රාජ්‍යය පවසා තිබේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඉදිරියේ දී තෙල් මත යැවීම නවත්වා, ඉදිරියේ දී ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන සහ තාක්ෂණ කටයුතුවලට මුල්තැන දීමට බලාපොරොත්තු වෙයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ආරම්භ කළේ 2017 වසරේදීය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මේ වනවිට ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන යටතේ අඟහරු ගවේෂණයට ද රොබෝ ගවේෂණ යානයක් යවා අවසන්ය.

2024 දී සඳට ගවේෂණ යානයක් යැවීමට එමිරේට්ස් විද්‍යාඥයන් සූදානම් වන අතඑ 2117 වසර වෙද්දී අඟහරු මතුපිට ජනාවාස බිහි කිරීමට ද එමිරේට්ස් රාජ්‍යය බලාපොරොත්තු වෙයි.

ගගනගාමියකු ලෙස පුහුණුව ලැබීමට, මොහොමද් බින් රෂීඩ් අභ්‍යවකාශ ආයතනය නෝරා අල් මට්රූෂී තෝරා ගෙන ඇත්තේ අයැදුම්කරුවන් 4,000 ක් අතරිනි. එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ කටයුතු මෙහෙයවීම සිදු කරන්නේ මොහොමද් බින් රෂීඩ් අභ්‍යවකාශ ආයතනයයි.

2021 ගගනගාමී පුහුණුවට එමිරේට්ස් රාජ්‍යය නියෝජනය කරමින් එක්වනු ඇත්තේ නෝරා අල් මට්රූෂී පමණක් නොවන බව එමිරේට්ස් උප ජනාධිපති මෙන්ම අගමැතිවරයා ලෙස ද කටයුතු කරන ෂෙයික් මොහොමද් බින් රෂීඩ් අල් මක්ටොම් ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

නෝරා අල් මට්රූෂී සමඟ ගගනගාමී පුහුණු පාඨමාලාවට සහභාගී වන අනෙක් තැනැත්තා මොහොමද් අල් මුල්ලාය.

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS