ඊශ්‍රායල සංචාරයකට ජෝ බයිඩන් කැමැත්තෙන්



ඊශ්‍රායලයේ නිල සංචාරයකට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනෙට් කළ ඇරැයුම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව, බයිඩන්ගේ ඊශ්‍රායල සංචාරය ඉදිරි සති කීපය ඇතුළත සිදුවනු ඇති බව ද ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ. බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස ඊශ්‍රායලය බලා යන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව, පසුගිය 2021 අගෝස්තු මාසයේ බෙනට්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ ධවල මන්දිරයේදී ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගනිමිනි.

ඊශ්‍රායලයට පැමිණෙන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට ඇරැයුම් කළේ දුරකතන කතාබහක් අතරතුරේය. ජෙරුසලමේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සහ ඊශ්‍රායල පලස්තීන සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් වූයේ යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS